01

529 26 3
                                    

මුළු ගෙදරම මහ ලොකු කලබලයක්. පබළුගෙ එන්ගේජ්මන්ට් එක නවතින්නයි යන්නෙ. ඔව්... ඒ කිව්වෙ මගේ. මං කොහොමත් ඔය මිනිහට ආදරේ කලේ නෑ. තාත්තිගෙයි අම්මිගෙයි වුවමණාවටම මේ මල ඉලව්වට කැමති වුණා මිසක් තාම මට අවුරුදු විසිහතරයි.

  "මල්ලි කිව්වෙ නම් කොහොමද...? හොඳ වැදගත් තැනක් කිව්වා.. වැදගත් දරුවෙක් කිව්වා.. පබළුට කුමාරිකාවක් වගේ ඉන්න පුළුවන් කියලත් කිව්වෙ.. මතකද..? "

   "මෙච්චර මේ ප්‍රශ්නයක් වෙලා තියන වෙලාවෙවත් පොඩ්ඩක් කටවහන් ඉන්නකො රූපා.. පබළුගෙ නැන්දා නේද ඔයා..? " 

ලොකු නැන්දි හෙමින් සැරේ මාමගෙ කනට ළං වෙලා උපහාසෙට හිනා වෙවී කියපු වචන මටත් කොහොමහරි ඇහුණා. තාත්තිගෙ එකම අක්කා නෙවෙයි නම් දනී මං කරන දේ. කොහොමින් හරි මාමාගෙන් නෝණ්ඩි වෙන්නම ඔය අහගත්තෙ. ඒකම මදැයි මේ වෙලාවෙ.

ඒත් ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ කියලා මටත් කල්පනා වුණේ දැන්. වැදගත් දරුවෙක් කියපු මේ යකා මාව එන්ගේජ් කරගන්න දවසක් තියලා වෙන කෙල්ලෙක්ව කසාද බැඳන් ගෙදර එක්කන් ඇවිල්ලා. මූට වෙන හුටපටයක් තිබ්බා නම් කලින් කියන්න බැරි වුණාද ඇත්තට. ඌ ගැන තුන් හිතකවත් අදහසක් නොතිබ්බ නිසා මං මේ විදිහට ගාණක් නැතුව හිටියට මොනා වුණත් වස ලැජ්ජාව. අනිත් එක, හොඳ වෙලාවට මූට එන්ගේජ්මන්ට් එකේදිම මොලේ පෑදුනේ. මූ මාත් එක්ක එන්ගේජ් වෙලා වෙඩින් එකට කලින් දවසෙ පැනලා ගියා නම් නම් වහ කන්නයි වෙන්නෙ අපේ හත්මුතු පරම්පරාවටම.

   "ගජේ දැන් රිලැක්ස් වෙන්නකො.. අපි බලමු මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා.."

තාත්තිගෙ උරහිසට අත තියපු ලයනල් අන්කල් එහෙම කිව්වෙ චාන්දනී ආන්ටි අපේ අම්මි ළඟට ගිහින් එයාගෙ හිත හදන්න හදද්දි. මං ඉතින් ඔහේ මේ වෙන දේවල් දිහා බලන් හිටියා. බොරුවට අඬන්න බෑනෙ ඉතින්.

  "මොනා කරන්නද මුණේ දැන්..? කෙල්ලට වෙන්නෙ එසේ මෙසේ ලැජ්ජාවක්ද.. අපේ ෆැමිලි එකට වෙන්නෙ එසේ මෙසේ ලැජ්ජාවක්ද..? මං ඕකුන්ව ඉතුරු කරන්නෑ මුණේ...ඉතුරු කරන්නෑ..."

තාත්ති ලයනල් අන්කල්ට කිව්වෙ කේන්තියෙන් අත මිටිමොළවන්.

  "ඒක ඇත්ත. ඒත් මේක මෙහෙම වුණ එකේ හොඳකුත් තියනවනෙ මචං.. කෙල්ල ඔය යකාව මැරි කරලා දුක් විඳින්න තිබ්බා. ඌ කෙල්ල ගැන හිතලා නෑනෙ.. ඉතින් මෙහෙම දෙයක් වෙලා හරි මේක නතර වුණා. අපේ දරුවා බේරුණ එකම මදිද.."

KODUKARI SINHALA NOVEL - කෝඩුකාරි සිංහල නවකතාව Where stories live. Discover now