වටපිටාව හරිම අඳුරු ස්වභාවයකින් වැසිලා තිබුනෙ. මං හිටියෙ රේල්වේ ස්ටේශන් එකේ බංකුවක ඉදගෙන. ට්රේන් එක එන්න තව වෙලා තිබුනා. එහා මෙහා යන මිනිස්සු දිහා ඔහේ බලාගෙන මං හිටියෙ හරිම කම්මැලි කමකින්. කතා කරන්න කෙනෙකුත් ළඟ හිටියෙ නෑ. එහෙම කිව්වට මන් වැඩිය කතා කරන කෙනෙකුත් නෙවෙයි. මං කැමති මගෙ පාඩුවෙ නිදහසේ ඉන්න. මට යාලුවො කියලත් මහ ගොඩක් හිටියෙ නෑ. ඉදපු ටික දෙනත් කාලෙත් එක්ක එයාලගෙ ලෝක වල යන්න ගත්තා. ඉතිං මං තවත් තනිවුනා. තනිවුනාම නෙවෙයි මං මාව තනි කර ගත්තා. මොකද මාත් එක්ක ඇසුරට එන්න හදපු කිසි කෙනෙක්ව මං ගණන් ගත්තෙ නෑ. ගොඩක් අය කිව්වෙ මං හරිම අහංකාර කොල්ලෙක් කියලා. ඒක බොරුවක් කියලා මං කියන්නෙ නෑ. ඇයි කියනව නම් මං කැමතියි මගෙ ඒ අහංකාරකමට. මං ගොඩක් කැමතියි මං මේ ඉන්න තනිකමට. සමහර අය තනිකමට වෛර කළාට මං නම් ඒ තනිකමට හරි ආදරෙයි.
මං මේ ලෝකෙන්ම ආසාවෙන් කරන එකම දේ තමයි චිත්ර අදින එක. මං අද යන්නෙත් ඒකටම තමයි. අපෙ සීයට අයිති ගොවිපළක් තියනවා. මං ඇඟිලි ගැන ගැන හිටියෙ එහෙ යන්න. වෙන මොකටවත් නෙවෙයි ඒ හිමෙන් වැසුන කඳු අතර, සමනල්ලු පිරිච්ච මල් අතර, දුව පනින බැටළු රංචු අතර, චූටි චූටි ලඳු කැළෑ අතර තනිවෙන්න. ඒ සුන්දර දසුන් සිතුවම් කරද්දි මට දවස ගෙවෙනවා තේරෙන්නෙ නෑ. නගරෙ ඉන්නෙ නැතුව ඒ වගේ ගම්මානෙක ජීවත් වෙන එක තමයි මගෙ හීනෙ. එතකොට මට හැම දවසකම ඒ සුන්දර බවත් එක්ක අවදි වෙලා ඒවා එක්ක නින්දට යන්න පුළුවන්.
ට්රේන් එක එද්දි අඳුර තවත් වැඩි වෙලා තිබුනෙ. මං බෑග් එකත් අරගෙන ඇතුළට ගිහින් කෙළවරම අසුනක ඉඳගත්තා. මට එහා පසින් තව කෙනෙක් හිටියා. එයත් මගෙ වයසම විතර ඇති. ගිටාර් එකකුත් තියාගෙන හිටපු නිසා සංගීත කාරයෙක් වෙන්න ඇති කියලා මට හිතුනා. මං ජනේලයෙන් එළිය බලාගෙන පහුවෙලා යන දේවල් වල සුන්දරත්වය වින්දා. ඒ වගේ සුන්දර දසුන් දකිනකොට මං ඉන්න තැන ගැනවත් මං කරන දේවල් ගැනවත් මට සිහියක් නෑ. සම්පූර්ණයෙන්ම මං ඒ දර්ශනයන් තුළ ගිලී යනවා.
එක පාරටම ට්රේන් එක ඇතුළෙ කරුවල උනා. ඒකට හේතුව ට්රේන් එක එවෙලෙ උමගක් තුළින් ගමන් ගත් නිසා. මන් හැමදාම සීයගෙ ගොවිපළට යද්දි මේ මොහොතට හරි ආසයි. කරුවලේ ට්රේන් එක ඇතුළෙ ඒ දැනෙන හැඟීම හරි අමුතුයි. බය සතුට කුතුහලය හැමදෙයක්ම පිරිච්ච මොහොතක් ඒ.
YOU ARE READING
Partial Love ❤️
Short Storyආදරේ කුමන වෙලාවක කුමන ස්ථානයක සිතට දැනෙනවාදැයි කීමට නොහැක. කොතනැක කෙලෙස හටගත්තත් එය ආදරයමයි. ❤️❤️