මං හැමදාම ජීවත් උනේ මේ ගින්දරෙන්. කොච්චර කාලය ගෙවිලා ගියත් ගිනි රස්නේ වැඩි වෙනවා විතරයි අඩුවක් නෑ. කාලය හැමදේම විසඳයි කියලා බලන් හිටියට හැමදේම තව තවත් අවුල් වෙනවා කියලා මට තේරුනා.
"මට ජීවත් වෙන්න දීපල්ලා.." හිස් කාමරේ අහුමුලු වලින් මතු උන යක්ශ මූණු වලට මං කෑගැහුවා. "මාව අතෑරලා පලයල්ලා.." තවත් හයියෙන් කෑගැහුවා. එකපාරට මේසයක් තල්ලු කරන සද්දයක් එක්ක මහ හයියෙන් කෑගහන සද්දයක් ඇහුනා.
"මොනාද අම්මි මේ පිස්සු ගෑනියෙක් ඇනෙක්ස් එකේ තියන් ඉන්නෙ, යන්න කියන්නකෝ මේ ගෑනිට, පිස්සු වැඩි වෙලාද කොහෙද කෑගහන්නේ.."
මං තව තවත් බිත්තියට ගුලි උනා. මට රැකවරණයක් උනේ මේ බිත්ති හතර විතරයි. දැන් අවුරුදු පහක් තිස්සෙම මේ යක්කු මාව කන්න එනවා, බිත්ති මාව බේරගන්නවා. සීතල බිත්ති මාව තුරුළු කරගන්නවා. අදත් එහෙම තමා. ඒත් මේ ලඟදි ඉඳලා යක්කු නිතරම එනවා, ගොඩක් එනවා, දවසෙන් දවස එක එක්කෙනා වැඩි වෙනවා.
"මාව අරන් යන්න එපා.." බිත්තිය මාව රැක්කා. ඒත් යක්කු බිත්තිය ගාවටත් ආවා. සයිරන් සද්දෙකුත් එක්කම රතු පාට එලියක් බිත්තියට වැටුනා. මාව රැකගත්ත බිත්තියත් යකෙක් වගේ පේන්න ගත්තේ ඒ රතු එලියයි බීරළු වල හෙවනැල්ලයි එක්ක.
"එපාආආඅ.." ඔලුව බදාගෙනම මන් වැටුනා. බිත්තිය පාමුල, මගේ බිත්තිය පාමුල..
.
.
.
.
.
ඇස් ඇරගන්න බැරි තරමට ඔලුව රිදෙනවා. අමාරුවෙන් ඇස් අරින්න තරම් ශක්තියක් නෑ මට. නහය කඩාගෙන යන සැර සුවඳක් එක්ක කටහඬවල් ගොඩක් ඇහුනා මට. යක්කු මාව උන්ගේ ලෝකෙට අරන් ඇවිත්."ඩොක්ටර් පේශන්ට්ට සිහිය ඇවිත් වගේ.."
"මෙයාව මෙන්ටල් වෝඩ් එකට යවන්න ලෑස්ති කරන්න, ගාඩියන් කෙනෙක් ඉන්නවද කියලා හොයලා බලන්න කියලත් කියන්න."
"මෙයා ගොඩක් කල් ඉඳන් මෙහෙම කෑගහනවද.."
"නෑ ඩොක්ටර් හැබැයි ආපු දවස්වල ඉඳන්ම හැංගිලා වගේ තමා හිටියේ, සමහර ගෑනු ලමයි කොහොමත් වැඩිය කතා බහක් නැති නිසයි දුර පලාතකින් ආව කෙනෙක් කිව්ව නිසයි අපි හිතුවා ඒක එයාගේ හැටි කියලා.. ඊයේ ඉඳන් තමා ඔය හයියෙන් කෑගහන්න ගත්තේ, බැරිම තැන මන් පොලිසියට කෝල් කලේ.."
යක්කු ආයෙ එනවා වගේ මට දැනුනා.
"එන්න එපා, ලඟට එන්න එපාආආ.." ඇඟේ තිබ්බ ඉතුරු හයිය ටික එකතු කරන් මන් කිව්වා. ආයෙත් ඔක්කොම අඳුරු උනා. ඈතින් මේනක හිමීට එනවා මන් දැක්කා. ලේ පෙරාගෙන, එදා මන් එයාට ඇන්න පිහිය තාම ඒ විදියටම තිබ්බා. අවුරුදු පහක් ගියත් තාම ඒ තුවාලෙ අළුත්, දැන් වෙච්ච තුවාලයක් වගේ ලේ පෙරෙනවා.
"මං දිලිනි එක්ක යාලු නෑ කාව්‍යා, මාව විශ්වාස කරන්න.."
~By Windy.. 📝
![](https://img.wattpad.com/cover/300572119-288-k943870.jpg)