නිධන් රක්නා බහිරවයෙකු ලෙසින් හාත්පස දැඩි කොට වෙළාගත් ඝනඳුරකි. ඒ ඝනඳුර කපා හරිමින් අළු පැහැ සිමෙන්ති පොළොවෙහි තියුණු මායිම් සහිතව සටහන් වූ දීප්තිමත් රිදී පැහැ හැඩ කීපයකි. ඒ හැඩ ඔස්සේම ආනතව ඉහළට නෙත් යොමු කළහොත් තද නිල් පැහැ කැන්වසයක් බඳු අහසෙහි නැඟී දිදුලන සඳ දැක ගැනුමට ඕනෑම අයෙකුට හැකිය. ඒ සඳ රැසින් පමණක්ම කඩින් කඩ ආලෝකමත් වූ ශාලාව පුරා උසස් විද්‍යාල සිසුන් යුගල වශයෙන් සැදී නර්තනයේ යෙදුණාහ. ඒ අතර තැනින් තැන නර්තනයෙන් ඔබ්බට ගිය සිදුවීම්ද නොපැවතියාම නොවේ. සංගීත රාවය අබිබවා යන හඬවල් විටින් විට නැඟුණේ යුගල එකින් එක අඳුරේ අතුරුදන්ව යන අතර වාරයේය.
අනායා ශාලාව මධ්‍යයේ තනිවම පසු වූයේ පෙරදින සන්ධ්‍යාවේ තමා අතහැර අද අන් යුවතියක හා නර්තනයේ යෙදෙන ලුවිස් දෙස බලමින් හදෙහි පැන නැඟුණු තුවාල නැවත නැවතත් පාරා ගනිමිනි. සිත සනහන සිහිල් සඳ රැසින් නැහැවුණත්, ඇගේ සිතෙහි වේදනාත්මක ගිනි දළු බුර බුරා නැඟුණි.
"මට තමුන් වගේ ගොඩේ කෙල්ලක් එක්ක යන්න පිස්සු කියලා හිතුවද අනායා?" ලුවිස්ගේ වදන් සිහියට නැඟෙනා වාරයක් පාසා අනායාගේ හදවත හඬා වැටෙන්නට විය.
උසස් විද්‍යාලයට පැමිණි මුල් කාලයේ අනායාගේ කැමැත්ත ඉල්ලා පැමිණි සෑම අයෙකුටම පහර දී ඔවුන්ව ඈ වෙතින් දුරස් කළ ලුවිස්, ඇගේ අත පතා නිතිපතා පැමිණියේය. ඔහුටද ඇගේ හදවත විවිර නොවිණ.
එහෙත් ඒ මඳ කලකට පමණි.
තමාට අන් කිසිදු තේරීමක් නොමැති තැනකට තමා කොටු කර ලුවිස් තමාගේ කැමැත්ත අයැදි විට, ඔහුට කැමැත්ත දෙනු හැර ඇයට අන් විකල්පයක් නොවිණ.
මුළු උසස් විද්‍යාලයම මාත්සර්යයෙන් පුරවා ලූ අනායා - ලුවිස් යුවලගේ ගමන ඇරඹුණේ එසේය.
ඒ ගමන අතරමැද ආ තීරණාත්මක සන්ධිස්ථාන බොහොමයකදී ලුවිස් අනායා වෙනුවෙන් පෙනී හුන් අතර, එනිසාම අනායාගේ සිත නිතැතින්ම ඔහු වෙතට යොමු විය.
නමුත්, එක් තීරණාත්මක සන්ධිස්ථානයකදී නම් එසේ නොවිණ.
උසස් විද්‍යාලයේ නර්තන උත්සවය සඳහා සිසුන් කඩිමුඩියේ සූදානම් වන විට, අනායා හා ලුවිස් අතර ගැටුමක් ඇති වූයේ දෙදෙනාගේ සිතුවිලි අතර ගැටුමක් නිසායෙනි.
![](https://img.wattpad.com/cover/313392885-288-k125631.jpg)
YOU ARE READING
Dancing under the moonlight
Short StoryI found a girl, Beautiful and sweet, I never knew you were the someone, Waiting for me..