මිදුල පුරාම අමුතුම සුවඳක් පැතිරිලා ගිහින්. කට්ට කළුවර රෑක නහය කඩාගෙන යන සුවඳ මොකද්ද බලන්න හිතාගෙන මං එලියට බැස්සා.
ඇට්ටේරියා ගහ වහගෙන මල් වියනක්.....
සුවඳ හතර වටේට පැතිරිලා. මුළු රෑම සුවඳින් නාවන්න මේ පුංචි සුදු මලට පුලුවන් කියලා විශ්වාස කරන්නත් බෑ වගේ.
"ඒත් වැඩක් නෑ. ඇට්ටේරියා බුදුන්ට පූජ කරන්න බෑ....."
"ඇයි?"
"ඒවා අතට ගත්ත ගමන් පෙති හැලිලා යනවා."
අතීතයේ දවසක එයා එක්ක මේ ගහ යට දුරකතනෙන් දොඩමලු වෙච්ච වෙලාවක එයා කිව්ව දෙයක් මගේ ඔලුවට ආවේ එකපාරටමයි.
වෙන්නැති.....මිනිස් අත් වල රළු බව ඒ පුංචි සුදු පෙතිවලට දරාගන්න අමාරු ඇති.....
කොහොමත්....
ඇට්ටේරියා මල්වලට හරි දාංගලේ.....
නටුව අල්ලගෙන ඉන්න බැරි තරමටම උන්ට හරි දාංගලේ.....
"තමුසෙට පුදුම දැඟලිල්ලක් නේ ඕයී තියෙන්නේ. එක තැනක ඉඳපන්කෝ...."
ආයේ මතකයෙන් දවසක්. එයා එක්ක හෝර්ටන් ප්ලේස් ගිහින් එයා මහන්සි අරින්න ගලක් උඩ වාඩි වෙලා ඉඳිද්දි මං එයාට එහෙන් මෙහෙන් ඇන ඇන දුවද්දි එයා මට බැන්නේ එහෙමයි.
"උඹේ කියවිල්ලනම් අනේ මන්දන්නෑ බං....අවුරුදු 26 වෙලාවත් ඔය කච කචේ අඩුවක් නැති හැටි....කොයි වෙලෙත් හිනාවේගෙන කියවනවා....."
හ්ම්ම්. ඒ එයා නෙමේ. ඒ මගේ හොඳම යාලුවාගෙන් ආපු මතකයක්. එවෙලෙනම් හිනා වෙලා නෝට් එක ලියන ගත්තා මතකයි.
ඒත්....එයා දන්නෙත් නෑ මං හිනාවෙන්නේ....හැමතිස්සෙම කියවන්නේ....කඳුලු හංගන්න කියලා. මං නිහඬ වුනාම මගේ මතක දොඩමළු වෙනවා. එතකොට කට්ට කලු පාට ලෝකෙක අලු පාට ලෝගු දාගත්තු හැරී පොටර් එකේ අස්කබාන් ආරක්ශකයෝ වගේ කට්ටියක් මාව අල්ලගන්න එනවා. මගේ ආත්මේ ඇදලා ගන්න හදනවා ඒ ගොල්ලෝ. මං ඒකට විරුද්ධව සටන් කරන්න දන්නෑ.
මං දන්න එකම විසඳුම මාව රතු පාටින් සිත්තම් කරගන්න එකම විතරයි.