ආලය ....

139 39 54
                                    

ජීවිතෙන් හරි අඩකට වැඩියෙනුත් අඩක් මා ගතකළෙමි....ඈ තවම පැමිණ නැත....
.

.

.

.

.
ඈ මාගේ ප්‍රාණයයි...

නැවත නැවතත් මා ඈ සිහිකරමි....

ඈ විටින් විට විවිධ ස්වරූපයන් ගෙන මා මනසේ ඇඳෙයි.....විටෙක ඈ බොහෝ වියපත්ව සිටියාය, එක් මොහොතක ඈ මවකි , නිමේෂයකින් ඈ නව යොවුන් තරුණියකි, කෙලිදෙලෙන් මා දෑතේ එල්ලී දග කරන බිළිදියකි.... ඒ කවර ස්වරූපයන් ඈ දිස් වුවද මා එකසේ ඈට ආලය කරමි.....

ඇගේ දෑස් නිල්වන්ය එහි අලංකාරය දන්නේ මා පමණි.....ඈ මදෙස බලන මොහොතක් මොහොතක් පාසා ඈ සිපගන්නට මසිත කීවද ඒ මට නුහුරුය....අනන්ත වාරයක් මා රහසේ ඈ සිපගෙන ඇත්තෙමි.....

ඈ දෑත් වෙඩරු පිඩක්සේ මෘදුය... මගේ රළු දෑතින් ඈ දෑත් ස්පර්ශ කරන කළ මසිත ඈ කෙරේ ස්නේහයෙන් දියව යන්නේය...

ඈ නොමැති ලොවක් මා මැවූ කළ කිසිවෙකුත් මා වෙනුවෙන් නොවීය... ඈ හැර කිසිවෙකුත් මා හට ඕනෑද නැත...

ඈ කෙතරම් කාරුණිකද.... මා ඈතරම් කාරුණික හදවතක් ඇත්තෙකුද යන්න මා නොදනිමි.....

බොහෝදින මා ඈ හා තනිව ගතකළෙමි....ඒ සෑම දිනෙකම ඈ මට අවැසි වෙස් ගත්තාය....ඇගේ හඬ මිහිරිය... ළයාන්විතය...ඒ කොතරම්ද යන්න මැනීමට මිනුම් දඬු මා නොදනිමි...වරක් ඈ මා වෙනුවෙන් ගැයුවාය ඒ මා ඇසූ පළමු ගීතයයි....මා ඈ හා ගතකළ සෑම කල්හිම නොවෙනස් වූ එක් දෙයකි....ඒ ඈ පුසුඹ හා ස්පර්ශයි.....ඒ නොවෙනස්ව අදටද එදා මෙනි...

මිනිසුන් ආලයට නොයෙකුත් උපමා දෙති.... හිරු ,සඳු, තරු, මහසයුර, නිල් අහස....තවත් කොතෙකුත් දෑ ඇත්ද.... ඒ උපමා කළ සියල්ල මෙතෙකැයි කෙදිනකහෝ ඔවුන් විසින්ම මැන දක්වනු ඇත.....ඒත් ආලය එසේ මැනිය හැකිද?....

මා ඇගේ ආලය මගේ සිත හා සමකරමි.... එහි දිඟ,පළල හා ගැඹුර කිසිසේත් මා නොදනිමි...ඒ ඔබටද කිසිදා මැනිය නොහැකි වනු ඇත..... ආලය එසේය... ඔබට මට එය මැනිය නොහැක...

මා කෙරේ ඈ සිත්තුල වූ ආදරය කොතෙකැයි මා නොදනිමි... ඇතැම්විට ඈද නොදන්නවා විය හැක....

ආලය අහිමි වූ තැන මිනිසුන් නැවතත් ආලය කරති.... ආලය එසේ කළ හැකිද?...මට නම් එය එක් වරකි.... දෙවනුව ඇතිවනුයේ විකල්පය මිස ආලය යැයි මා නොසිතමි ..... එයටද ආලය කළ හැක ඒ ඔබ සතුය....

ඉදින් ඔබට මං රහසක් කියමි........ ඒ ඈ හා මගේ අතීත කතාවයි.....

.

.

.

.

.

අතීතයේ මා මංමුලා වූ දිනෙක ඈ මා අසල නැවතුනාය...ඇගේ සුමුදු මෘදු අතැඟිලි මා දෑත් යන්තමින් ස්පර්ශ විය....ඇගේ පුසුඹ විදුලියක් සේ මා වෙලාගත්තේය....
මා ගල්ගැසී සිටියෙමි.....ඒ නිමේෂයකි... ඈ මා අතින් ගිලිහුණු සැරයටිය ඇහිද මට දී පිටව ගියාය.....

එසැනින් ඈ මා සිත්ගත්තාය...ඒ ආලය මාගේ ප්‍රාණය විය...තව කිසිවක් කිසිසේත් මට අවැසි නැත...

අදුරේ වුව... එකම මග, එකම තැන සිට තවත් කල්පයක් ............................ මා බලා සිටිමි....

.

.

.

.

.

නිමි.....

ආලයWhere stories live. Discover now