කඩදාසි බෝට්ටුව 4

26 4 0
                                    

පන්තිය ඇරී නිවසට ආ යුරේලියා ගෙට ගොඩ වුණේ කෑ ගසා ගෙන ම ය. "අම්මේ!"
"ආ! ආවද යුරේ? ගිහින් හෝද ගෙන කර ගෙන එන්න කෑම කන්න!" ඇගේ මව, බියට්‍රිස් පැවසුවා ය.
"කම්මැලී අප්පා හෝද ගන්න!" යුරේලියා එහෙම ම සාලයේ පුටුවක් උඩට කපා දැමූ ගසක් සේ ඇද වැටුණා ය.
"ඕන් ඉතින් කුණු වෙනවා! ගිහින් හෝද ගෙන මනුස්සයෙක් වගේ ඉන්නකෝ! පෙරේත පැටියා වගේ ලැගලා ඉන්නේ!" අම්මා කුස්සියේ සිට එබී බලා කීවා ය.
යුරේලියා නෑසු කන් ව පුටුවේ හරස් අතට හොදට හරිබරි ගැසී දිගා වුණේ පොඩි නින්දක් දැමීමට සිතා ගෙන ය.
කොහෙද?
ඇගේ සිත පුරා හොල්මන් කරන්නේ 'අවුල' යි.
ඈ පුටු ඇන්දෙන් පහළට නිදහසේ වැටී ඇති තම දෙපා තාලයට පද්දන්නට වූයේ ළමයෙකු නිදි කරවීමට තොටිල්ල තල්ලු කරන රිද්මයෙනි.
අර photo එකේ අඩුව...
හැමෝම කියවන තමන්ට හැදිච්ච ලෙඩේ...
වහලා දාපු කාමරේ...
පොඩ්ඩක් ඉන්න!!
ඈ දෙපා පැද්දීම නවතා දෑස් ඇරියා ය.
වහලා දාපු කාමරේ!!
'ඔව්! ඒකෙ මොකක් හරි අවුලක් තියනවා! අද ම ඔළුව දාලා බලන්න ඕනේ!’
නමුත්......
මොන දේටත් වඩා කම්මැළිකම ලොකු ය.
'ඔය කාමරේ ඉතින් ඇවිදන් යන්නෙ නෑනේ! මං තව චුට්ටෙන් නැගිට්ටා ම ම බලනවා!' ඈ නැවත තම පා දෝලනය කරන්නට වූවා ය.
••••••
කදුළින් පිරි දෑසින් බලා සිටින්නාක් සේ බොද ව ගිය අපැහැදිලි රූප පෙළක්....
ඒ ඡායාවෙන් දිස් වෙන්නේ මිදුලේ දුව පැන සෙල්ලම් කරන දැරියන් දෙදෙනෙක්..
යුරේලියා තම දෑස් පිස දා දෑසේ බැදි පටලය ඉවත් කර හරින්නට අත එසවූවා ය.
දෑස් පිස දා ඇසි පිල්ලම් ගසා බලන විට රූපය මාරු වී ඇත.
කවුරුන්දෝ මහ වැස්සේ තෙමෙමින් සිටියා ය. ඇගේ අත කඩදාසි බෝට්ටුවකි.
ඒ තමා බව කෙසේ හෝ යුරේලියා දැන සිටියා ය.
යුරේලියා තම සිරුරෙන් බැහැර ව බලා සිටින්නාක් සේ බලා සිටින්නට වූවා ය.
කොහොම වෙතත් තමාව තෙමෙන්නේ නැති බවත්, අර පේන කඩදාසි බෝට්ටුව අත දරා සිටින 'තමා' තෙමෙන බවත් පෙනෙන්නට තිබුණි.
තෙමෙමින් සිටි යුරේලියා තම අත වූ කඩදාසි බෝට්ටුව වතුරේ පා කර හරින්නට නැවුණා ය.
"නෑ! එපා! ඕක නම් කරන්න එපා!" නොතෙමී හුන් යුරේලියා කෑ ගෑවා ය.
එය කිසිවෙකුට නෑසුණි!
තම හඩ පිට වන බව ඈට විශ්වාස ය.
ඈ තෙමෙමින් සිටි තම අනුරුව වෙත දිව ගොස් කඩදාසි බෝට්ටුව ඉදිරුවා ය.
එය අසාර්ථක උත්සාහයක් විය.
ඇගේ අත බෝට්ටුව හරහා ගියේ එය වාතයෙන් තැනී ඇත්තාක් සේ ඉතා ම පහසුවෙනි.
ඈ දෑතින් ම මුහුණ වසා ගෙන කෑ ගසමින් බීම වාඩි වූවා ය.
මොහොතකින් ඇයට ඇසුණේ තවත් කවුරුන් හෝ කෑ ගසන හඩකි.
මේ වනතුරා තමාට කිසිදු හඩක් නෑසුණු බව ඈට තේරුම් ගියේ ඒ හඩ ඇසීමත් සමග ය. මේ වන තෙක් හඩ රහිත චිත්‍රපටයක් සේ රූප පෙළ ඈ ඉදිරිපිට මැවෙමින් තිබුණා පමණි.
ඈ වහා ම හැරී බැලුවා ය.
තමාට වඩා වයසින් බාල යැයි බැලු බැල්මට ම පෙනෙන දැරියක් කෑ ගසමින් සිටියා ය.
'මොනව ද එයා කියන්නේ?' යුරේලියා කන් දුන්නා ය.
"එපා! අනේ ඕක නම් කරන්න එපා!"
'මමත් කිව්වෙ ඔය ටික ම නේ! කවුද මේ?' යුරේලියා ඈ දෙසට විමසිලිමත් බැල්මක් හෙළුවා ය.
ඇගේ දෑස් දුකෙන් පීඩිත ව තිබුණි. රතු වී තිබූ දෑස්වලින් පිටාර ගලා තිබූ කදුළු වැල් කොපුල් පුරා රටා මවා ඇත. ඈ රතු වී තිබූ නාස් පුටවලින් හුස්ම ඉහළට අදිමින් කෑ ගසමින් සිටියා ය.
"අනේ එපා!"
යුරේලියා හිද සිටි තැනින් නැගිට ඈ වෙත ගියා ය.
"කවුද ඔයා?" යුරේලියා ඇයගෙන් විමසුවා ය.
"ඔයා කවුද?" ඈ ද හිස පැත්තකට ඇල කර ගෙන විමසුවා ය.
"ඔයා මාව දන්නෙ නැද්ද?" යුරේලියා පසුපස හැරී බෝට්ටුව පා කරමි  සිටි තම අනුරුව දෙස බලමින් ඇසිවා ය.
"ඔයා.... එයා..... " කුඩා දැරිය යුරේලියා දෙසත්, ඇගේ අනුරුව දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය.
"ඔව්, ඒ ඉන්නෙත් මං ම තමයි! මටත් ඕනෙ ඒක නවත්තන්න! ඒත් ඇයි කියන්න මං දන්නෙ නෑ! ඇයි ඔයා 'මාව' නවත්තන්න හදන්නේ?" යුරේලියා ඇසුවා ය.
"ම්හ්. දන්නෙ නෑ! ඒත් මං දන්නවා, මටත් ඕනෙ එයා කරන දේ නවත්තන්න! අපිට බැයි ද ඒක කරන්න?" ඈ යුරේලියාගේ මුහුණ දෙස බලා ගෙන විමසුවා ය.
එවිට ම යුරේලියාගේ අනුරුව දෙසට දිව ආවේ කුඩා දැරියකි.
"ඒ මං!" ඈ සමග කතා කරමින් හුන් දැරිය කීවා ය.
"එයාව නවත්තන්න ඕනේ!" යුරේලියා මිමිණුවා ය.
යුරේලියාගේ අනුරුව එතැනින් නික්ම ගියා ය.
අර කුඩා දැරියගේ අනුරුව ද තම අතේ වූ ඇද වුණු කඩදාසි බෝට්ටුවක් ජල තලය මත තැබුවා ය.
"එපා!!" යුරේලියාත්, කුඩා දැරියත් මහ හඩින් කෑ ගෑවේ තම හඩ නෑසෙන බව දැන දැන ම ය.
"ඒක තමයි අන්තිම අවස්ථාව!" යුරේලියාට කියවුණේ ඈව ද මවිතයට පත් කරමිනි.
යුරේලියා කුඩා දැරිය හා මුහුණට මුහුණ බලා ගත්තේ මහත් වූ අසරණ හැගීමකින් මිරිකී යද්දී ය.
••••••
යුරේලියා මහත් බරක් පටවා ඇටුතාක් සේ දිස් වන තම ඇස් පිහාටු අපහසුවෙන් විවෘත කළා ය.
"යුරේ, යුරේ! ඔයාට දැන් හොදයි නේද? මොකක් ද වුණේ?" අම්මා උණු වතුරින් පොගවන ලද රෙදි කැබැල්ලක් නළලේ තබා තවමින් විමසුවා ය.
"හ්ම්.." යුරේලියා හූමිටි තිබ්බේ ඈට කල්පනා කරන්නට අවශ්‍ය වූ නිසා ය.
'මොකක් ද දෙයියනේ ඒ උණේ?'ඈ යළිත් තම සිහිනය ආවර්ජනය කරන්නට වූවා ය.
අපැහැදිලි ඡායාවන්...
ඈ කෙළින් වී හිද ගනිමින් ජනේලයෙන් පිටත බැලුවා ය.
වැස්සේ තෙමෙමින් කඩදාසි බෝට්ටුවක් පා කළ තමාගේ අනුරුවක්...
ජනේලයේ වැදී පහළට රූරා යන දිය බිදු දෙස බල සිටිද්දී හදිසියේ ඇයට කඩදාසි බෝට්ටුවක් පා කිරීමට මහත් ආසාවක් පැන නැගුණි.
ඈ කාමරය වෙත යන්නට නැගී සිටියේ තම නළලේ වූ රෙදිකඩ පසෙකින් තබමිනි.
"ඒක මොකක් වුණත් හීනයක් විතරයි දරුවෝ! ඕනෑවට වඩා හිතන්න එපා ඒ ගැන!" අම්මා සිතේ කරදරයෙන් මෙන් පැවසුවා ය.
"අයියෝ අම්මේ! මං පොඩි බබෙක් යැ! මාත් දනවා ඒක හීනයක් කියලා!"
"හ්ම්.. පරිස්සමට!." අම්මා සැනසිලිදායක ලෙස හිස සොලවමින් පැවසුවා ය.
"හරි, හරි අම්මේ!" යුරේලියා කල්පනා කරමින් ම තම කාමරයට ගියා ය.
තම අනුරුවට නෑසුණත්, තමා ඈව නැවැත්වීමට ගත් උත්සාහය...
තමා හා කතා කළ දැරිය...
කඩදාසි බෝට්ටුව.......
'ඇයි මට 'මාව' නවත්තන්න ඕනෙ වුණේ?’
'ඇයි එයාට මගෙ කටහඩ ඇහුණෙ නැත්තේ?'
'කවුද ඒ ආපු අනෙක් ගෑනු ළමයා?’
'මොකක් ද අර අන්තිම අවස්ථාවේ කතාව? මොනවට ද අන්තිම අවස්ථාව වෙන්නේ? කඩදාසි බෝට්ටුවක් පා කරන එක නීතිවිරෝධී දෙයක් යැ!’
යුරේලියා තම හිස වේගයෙන් දෙපසට සොලවන්නට වූවා ය.
'අයියෝ!මොකක් ද දෙයියනේ මේ වෙන්නේ? මහ ලොකුවට අම්මට කියලා ආවෙ නම් කොහොමන්ද? 'මඤ් පොඩි බබෙක් යැ! මඤ් දඤ්ඤව ඒක හීඤයක් කියලා!' එහෙම කියලා තෝම හීනෙ ගැන කල්පනා කරනවා!' ඈ තමාට ම ඇද කර ගත්තා ය.
ඈ තමා එකතු කර ගෙන සිටින පරණ පොත්වලින් කඩා ගත් කොළ පෙට්ටියෙන් කොළයක් අතට ගත්තා ය.
'අනික යකෝ! ඔය හීනෙක වෙව්ච හැම කෙහෙල්මලට ම හේතු හොයන්න දගලන්නේ, මොංගල් ද? ඒක හීනයක්! එච්චරයි! හීනවල කොහොමත් වෙන්න පුළුවන් දේවල් යැ පේන්නේ!’
මේසය උඩ තබා ගත් කඩදාසිය ඈ නවන්නට වූයේ මහත් සීරුවෙනි.
''හේතු හෙවිල්ල පැත්තකින් තියමුකෝ. මොකා ද අර ආපු කෙල්ල?’
'ඔය ඉතින්! ආයෙ කල්පනා කරනව නේද හීනෙ ගැන! ඔයිට වඩා හොදයි තෝ නිදා ගන්නෙ නැතුව ඇහැරලා හිටිය නම්! එහෙනම් ඔළුව වටේ කැරකෙන්නේ if condition විතරයි!’
'මොකා වුණත් ඒ කෙල්ලව මං කලින් දැකලා තියනවා! හා නැද්ද?' ඈ තමාගෙන් ම අසා ගෙන කල්පනා කළා ය.
පිළිවෙලට සාදා ගත් කඩදාසි බෝට්ටුව තම අත්ල මත තබා ගත් ඈ එහි හැඩ බලන්නට වූවා ය.
'මොනව වුණත්, අර හීනෙ හිටපු මාත් මේ වගේ ලස්සනට එයාගෙ බෝට්ටුව හදලා තිබ්බා. ඒකට අර නංගිගේ!' ඇදහොකර වී ගිය ඒ කුඩා දැරියගේ බෝට්ටුව සිහිපත් වීමෙන් ඇගේ මුවේ මද සිනහවක් ඇදී ගියේ ය.
'ඒ කෙල්ල නම් ෂෝයි! අනේ මටත් ඒ වගේ නංගෙක් හිටිය නම්!' ඈ මිදුලට යන ගමන් සිතුවා ය.
වැස්ස නිසා මිදුලේ පිරී තිබූ මඩවලවල් දිය නෙස්ටමෝල්ට්වල දුඹුරු පැහැයෙන් දිස් වෙයි.
තවමත් එකිනෙක ඇද හැලෙන වැහි බිදු ගණනකට නොගත් ඈ මිදුලට බැස්සා ය. සීතල සුළග ඇගේ ගත දවටා සිටි සලු අතරින් සමේ වදින විට හිරිගඩු පිපෙයි.
වැහි බිදු ඇගේ ඇදුම පුරා තිත් මුවෙකුගේ සේ පැල්ලම් මවන්නට විය.
යුරේලියා පහත් වී බෝට්ටුව ප්‍රවේසමෙන් මඩවල මතින් තැබුවා ය.
කඩදාසි බෝට්ටුව සමබර ව පාවෙන්නට විය. හෙමිහිට ගලා බසින් මඩ වතුර සමග බෝට්ටුව ද හෙමි හෙමිහිට එහාට මෙහාට යන්නට විය.
යුරේලියා මහත් සතුටින් ඒ දෙස බලා සිටින්නට වූවා  ය.
"යුරේලියා!" ඇගේ මව ගෙයි ඉස්තෝප්පුවට විත් කෑ ගැසුවා ය.
"අ..අම්මේ!"
"'හම්මෙ' තමා! මේ වැස්සෙ එළියට පැන්නේ උණ හදා ගන්න ද? දැන් ම එනව ගෙට! ගිහිල්ලා තව හවස් වෙන්න කලින් නා ගන්නව!"
"හා හා ඉතින්! නා ගන්නම්!" යුරේලියා නිවස දෙසට ඒමට පා එසෙව්වා ය.
"ඔය මොකක් ද ඔය?" අම්මා වතුරේ පාවෙන බෝට්ටුව දෙස බැලුවා ය. "හනේ! හනේ! මොනා ද ළමයො මේ පොඩි එකෙක් වගේ කරන වැඩ? මිදුල හැඩි කරන්නෙ නැතුව ඕක අරන් ගෙට එන්න. ඕක දාන කුණු කූඩෙට!"
"අනේ අම්මේ! හැමදාම නෑනේ! අද විතරයි! අදට විතරක් ඕක තියන්නකෝ! කොච්චර කාලෙකින් ද?" යුරේලියා ආයාචනා කරන්නට වූව ය.
මවගේ මුවින් සිනහවක් එළියට පැන්නේ ය. "හරි, හරි! චූටි බබෝ! අදට විතරක් බබා සෙල්ලම්.කරන්නකෝ එහෙනම්! ඒත් දැන් ඇවිල්ලා නා ගන්න! ඕක ඔහෙ තිබුණාවෙ!"
"මගෙ හොද අම්මා!"
"හා හා! ඇති ඔය බටර් ගෑවා! ගිහින් නා ගන්න! හඩු ගදේ බෑ!"

කඩදාසි බෝට්ටුව Where stories live. Discover now