අදත් වෙනදා වගේ ම ඉස්කෝලෙන් දීපු වැඩ කන්දක්. 'කොහොමහරි කරන්නත් එපැයි.' මං ඉස්කෝලෙ පොතක් අතට ගත්තා.
එළියේ හෝ ගාලා වැස්ස.
පොඩි කාලේ නම් නංගියි මායි මේ වෙද්දි ලියුම් ලියනවා. වෙන කාටවත් නෙවෙයි, කෝර්ඩේලියාට.
ඒත් කොහෙද දැන් ඒකටත් වෙලාවක්?
කෝර්ඩේලියා...
අපේ අම්මා පොඩි කාලේ එයාගේ අම්මා තමයි එයාට කෝර්ඩේලියාට ගැන කියලා තියෙන්නේ.
ඒ කාලේ ගමේ හැමෝම වගේ කෝර්ඩේලියාට ලියුම් ලිව්වලු. ආච්චි කියපු විදියට නම් කෝර්ඩේලියා කියන්නේ සුර දූතිකාවක් වගේ කෙනෙක් වෙන්න ඕනෙ.
එයාට ලියන ලියුම් කඩදාසි බෝට්ටුවක පා කළා ම ඒ ලියුම් කෝර්ඩේලියාට හම්බ වෙනවලු.
එතකොට එයා ඒ ලියුම් ලියන අයට පුළුවන් විදියට උදව් කරනවලු.
මං දැන් ලියුමක් ලිව්ව නම් ඉතින් ලියන්න වෙන්නේ මේ ගෙදර වැඩ ටික කරල දෙන්න කියල තමයි.
මං පොතටත් රවා ගෙන උඩින් ම තිබ්බ පොත අතට ගත්තා.
පුටුව උඩට කකුලකුත් අරගෙන හොදට හරි බරි ගැහිලා මං වැඩේට බැස්සා.
ඒත්...
මොන වැඩක් ද?
මං ඉන්න තැනට හරියට ම කෙළින් තියෙන්නේ ජනේලේ. ලොකු ම ලොකු වැහි බිංදු මහ සද්දෙට ජනේලේ වදින කොට කොහෙවත් තිබිච්ච නිදි මතක් එනවා හරි අපූරුවට.
නිදිමත ගසලා විසි කරන්න වගේ ඔළුව වේගෙන් දෙපැත්තට වනපු මං පැන්සල් කොටේකුත් අතට අරන් පොතට ඔළුව නමා ගත්තා.
ඔන්න එතකොට ම නංගිත් කොහෙවත් ඉඳලා දුව ගෙන එනවා.
ආන්යා...
පුදුම කරුමයක්. ඔය එන්නේ 'අක්කේ, සෙල්ලමක් කරමුකො,' ගගා මට වද දෙන්න තමයි.
"අක්කේ... සෙල්ලමක් කරමුකෝ..."ආන්යා මගේ මේසේ කෙළවරක එල්ලිලා එහාටයි මෙහාටයි පැන පැන කෙදිරි ගාන්න ගත්තා.
කියන කෙහෙල්මලක් එක විදියකට ඉද ගෙන කියන්න බැරිද? එයාගේ දැඟලිල්ල බලන් ඉද්දි ඔළුවත් එක්ක රිදෙනවා.
"අක්කේ...."
"අනේ මේ හලෝ! යන්නකො යන්න වද නොදී!" මං අතේ තිබ්බ පැන්සලත් උරුක් කරන් කිව්වා.
"අනේ අක්කේ.. සෙල්ලමක් දාන්න එන්නකෝ අප්පා!"
"සැරයක් කිව්ව ම අහලා යනවද? මට වැඩ තියනවා."
"අනේ යන්න! මොනා ද ඔයාට ඔය හැටි තියන වැඩ?" ආන්යා මගේ පොතට එබුණා.
"ඕනෙනැති කෙහෙල්මලක් නෑ!" නංගිත් එක්ක හුඟ කාලෙකින් රණ්ඩු වුණෙත් නැති හින්දා එයාව පොඩ්ඩක් අවුස්සන්න හිතා ගෙන මං පොත ඇදල ගත්තා.
"මටත් පෙන්නන්නකෝ!" ආන්යාත් මගේ පොතේ කොණකින් අල්ලා ගෙන අදින්න පටන් ගත්තා.
මාත් හිනාව හංග ගෙන පොත ඇද්දා.
නංගි එක පාරටම පොත හයියෙන් ඇද්දා. ඇද්ද පාරෙ සැරට පොතත් එක්ක ම එයාවත් අඩි දෙක තුනක් විසි වුණා.
වෙන වෙලාවක් වුණා නම් මං උඩ පැන පැන හිනා වෙනවා.
ඒත් දැන්...
පොතේ බාගයක් තාමත් මගේ අතේ.
මං ඒ කෑල්ල මේසේ උඩට විසි කරල අඩියට දෙකට නංගි ගාවට ගියා, ගියා නෙවෙයි යැවුණා කිව්වොත් තමයි හරි.
නංගිගේ ඇස් දෙකේ කදුළු පිරිලා, මූණ බයට ම ඇකිළිලා.
මගේ පොතේ අනෙක් බාගේ එයාගේ අතින් ගිලිහිලා බිමට වැටුණා.
මං ගහපු පාරේ සැරට ඇස්වල පිරිලා තිබුණු කදුළු පේළි කම්මුල් දිගේ පහළට ගලනකොට එයා අඩා ගෙන ම කාමරෙන් එළියට දිව්වා.
'දැන් ඉතින් හරිනේ! පොත ඉරිච්ච එක මදිවට දැන් එයාව ඇඩෙව්වා කියලත් බැණුම් අහන්නයි වෙන්නේ.' මං අතත් මිටමොළව ගෙන මේසේ ඉස්සරහින් ඉද ගත්තා.
දිගින් දිගට ම ඇද හැලෙන වැස්සත් එක්ක මං ඉරුණු පොතෙන් ම කොළයක් කඩා ගත්තා.
මගේ වයසත් එක්ක මං කෝර්ඩේලියා ගැන තියන කතන්දර විශ්වාස කරන්න තරම් මෝඩ නෑ. ඒත් මං කාලෙකට පස්සේ කෝර්ඩේලියාට ලියන්න පටන් ගත්තා.
සමහර විට මාව ඒකට පොළඹවන්න ඇත්තේ වැස්ස වෙන්න ඇති!
'කෝර්ඩේලියා,...'
මගේ හිතේ තියන තරහව වේගෙන් එහෙ මෙහෙ වෙන පෑන කුරුටු අකුරුවලින් කඩදාසිය පුරා ඇන්දා.
ලස්සනට පිළිවෙලට කඩදාසිය නවලා හදා ගත්ත ලස්සන චූටි බෝට්ටුවත් අරගෙන වැස්සට තෙමි තෙමී ම මං එළියට බැස්සා.
දුකටයි තරහටයි දෙකට ම ඇස්වලට උනලා තිබුණු කදුළු වැහි වතුරට හේදිලා ගියා.
මං බෝට්ටුව වළලුකර හරියට වතුර පිරුණු තැනක් බලලා පා කළේ 'කෝර්ඩේලියා' කියලා හිතින් මුමුණන ගමන්.
තවත් විනාඩියක් විතර වතුර පාරත් එක්ක හෙමිහිට උස් පාත් වෙන බෝට්ටුව දිහා බලන් හිටපු මං ආපහු යන්න හැරුණා.
මං ගේ ගාවට යනවත් එක්ක ම ගේ ඇතුළේ ඉදල දුව ගෙන ආපු නංගි මගේ ඇඟෙත් හැප්පී ගෙන මිදුලට දිව්වා.
'එයත් කෝර්ඩේලියාට ලියල ද?' මං ගේ ඉස්සරහ කණුවට මුවා වෙලා එයා දිහා බලන් හිටියා.
නංගි ටික වෙලාවක් මගේ බෝට්ටුව දිහා බලන් ඉදලා අතේ ගුලි කරන් හිටපු මොකක්දෝ දෙයක් මගේ බෝට්ටුවට එහා පැත්තෙන් තිබ්බා.
ඒකත් බෝට්ටුවක් ම තමයි.
මගේ ලස්සන පිළිවෙල බෝට්ටුව හින්ද එයාගේ තැලිච්ච බෝට්ටුවේ ඇද කැපිලා පෙණුනා.
එක ළඟ පාවෙන බෝට්ටු දෙක දිහා ටික වෙලාවක් බලන් හිටපු මං නංගි මාව දකින්න කලින් ආපහු යන්න හැරුණා.
●●●●●●●●●●●
අපේ ගෙයි මායි නීනායි මගේ පරණ පින්තූර අවුස්ස අවුස්ස හිටියා. මං චූටි ම කාලේ පින්තූරවල ඉදලා මොන්ටිසෝරි කාලේ ඒවාත්, ඉස්කෝලේ කාලේ ඒවාත්, මේ ළඟක දී ගත්ත ඒවාත් ඇල්බම්වල පිළිවෙලකට අහුරලා තිබුණා. ඒ ඉතින් අපේ අම්මගේ වැඩ තමයි.
අපි බල බලා හිටියේ මොන්ටිසෝරි කාලේ පින්තූර දාලා තිබුණු ඇල්බම් එකක්.
“යුරේ, මේ මොකද මේ ඔයාගේ අතට වෙලා තියෙන්නේ?” නීනා ඇල්බම් එකේ ඊළඟ පිටුවේ උඩින් ම තිබුණු පින්තූරය පෙන්නලා ඇහුවා.
“කෝ බලන්න.” මං ඇල්බම් එක මගේ පැත්තට හරවා ගෙන පින්තූරය දිහා හොදට බැලුවා.
චූටි මං හිටියේ අඬන්න ඔන්න මෙන්න වගේ මූණ බෙරි කර ගෙන. මගේ වම් අත සුදු පාට ගෝස්වලින් ඔයාලා බැන්ඩේජ් කරලා බෙල්ලේ එල්ලලා තිබුණා.
“මේ අපේ මොන්ටිසෝරිය නේද?” මං පසුබිමෙන් පේන්න තිබ්බ සෙල්ලම් පිට්ටනිය අදින ගත්තා.
“ඒක තමයි. මට මතක නෑනේ ඔයා ඒකාලේ අත කඩා ගෙන හිටියා කියලා!” නීනා ආයෙමත් සැරයක් පින්තූරය දිහා හොදට බලලා ඇහුවා.
“මට මතකත් නෑනේ! අම්මට මතක ඇති මේ මොකද වෙලා තියෙන්නේ කියලා!” මං පින්තූරය ඇල්බම් එකෙන් ගලවන ගමන් කිව්වා.
“ඔන්න ඕක තියලා ඉතුරු ටික බලන්න එන්න.” නීනා ඇල්බම් එකේ ඊළඟ පිටුවේ පෙරලන්න ඇල්බම් එක මගෙන් උදුර ගමන් කිව්වා.
“ඔහොම ඉන්න, ඔහොම ඉන්න! මේක මගේ අත සම්බන්ධ ප්රශ්නයක්!” මං පින්තූරය අත් දෙකෙන් ම අර ගෙන කිව්වා. “අම්මේ...” මං ඒකත් උස්සා ගෙන කුස්සිය පැත්තට දුවන්න ගත්තා, අම්මව හොයා ගෙන.
“මොකද යුරේ මේ කෑ ගහ ගෙන දුවන්නේ?” මගේ ඇගේ හැප්පිලා බිම වැටෙන්න ගිහිල්ලා අනූ නවයෙන් වැටෙන්නේ නැතුව බේරුණු අම්මා මගේ උරහිස් දෙකෙන් අල්ලා ගෙන ඇහුවා.
“අම්මේ, ඔයාට මේ පින්තූරය මතක ද?” මං අම්මට පින්තූරය පෙන්නුවා.
“ඉන්න බලන්න.” අම්මා මාවත් තල්ලු කර ගෙන සාලයට ගියා. එයා සාලේ මේසය උඩ තියලා තිබුණු කණ්ණාඩි කුට්ටම ඇස් දෙකට තද කර ගෙන මගේ අතෙන් අර ගත්තා. “ම්ම්... මේක නම් මතක නෑ. ඔයාලගේ මොන්ටිසෝරියේ මොනවට හරි ගිය වෙලේක ගන්න ඇත්තේ.”
“ඕකේ මගේ අතට මොකද අම්මේ වෙලා තියෙන්නේ? මං ඒ කාලේ අත කඩා ගෙන හිටියා ද?” මං පින්තූරය බෙල්ලේ එල්ලා ගෙන හිටපු අත පෙන්නලා ඇහුවා.
“නෑ! ඔයා පොඩි කාලේ ඔළුව නම් පලා ගත්තා, මූණ හෝදන්න බෑ කියලා ගේ වටේ දුවන්න ගිහින්!” අම්මා හිනා වෙවී කිව්වා.
‘ඇයි දැන් ඒ ගැන මෙවෙලේ කිව්වේ? ඇරත් මේ නීනාත් ඉන්න තැන! දැන් ඉතින් දෙන්න ම එකතු වෙලා මාව කන්න පටන් ගනී!’ මං හිතෙන් බනින්න පටන් ගත්තා.
“එහෙනම් ඒ කාලේත් දැන වගේ ම වෙන්න ඇති! තාමත් යුරේ නාන්නේ එහෙම නෑ නේද නැන්දේ?” නීනා ඇල්බම් එකත් පැත්තකින් තියලා හිනා වෙන්න පටන් ගත්තා.
“ආයේ ඉතින් ඒ ගැන මොකට කියනව ද?” අම්මත් පටන් ගත්තා. දැන් ඉතින් මං පොඩි කාලේ ඉදන් කරපු හැම චොර වුණු අවස්ථාවක් ම නීනාගේ කනේ තියයි.
“යනව හලෝ යන්න! මං හොදට නානවා!” මං නීනාට රැව්වා. “ඉතින් අම්මේ මගේ අතට මොකද වුණේ කියලා කිව්වේ නෑනේ?” මං අම්මගේ අතින් පින්තූරේ උදුරා ගෙන කතාව වෙන පැත්තකට හරවන්න හැදුවා.
“අනේ මන්දා! ඒත් ඔයා කවදාවත් අත කඩා ගෙන නම් හිටියේ නෑ! ඔය මොකක් හරි මොන්ටිසෝරියේ විට ඇදුම් තරගෙකටවත් ඔහොම ඇද ගෙන යන්න ඇති!” අම්මා නීනාගේ ඉස්සරහින් සැටිය උඩ ඉද ගන්න ගමන් කිව්වා.
“එහෙනම් කෝ ඒ විකට ඇදුම් තරගෙට ආපු අනිත් අය? මේ! පිට්ටනියෙත් ළමයි දෙන්නයිනේ ඉන්නේ!” මං ආයෙමත් ඒ පින්තූර පසුබිම දිහා බලලා කිව්වා.
“එහෙනම් ඔයා දවස මාරු කර ගෙන යන්න ඇති!” නීනා මාව නොසලකා ඇරලා කිව්වා. “ඉතින් නැන්දේ, යුරේ ඔලුව පලා ගත්ත එක ගැන කියන්නකෝ!”
මං කිව්වේ! දැන් ඉතින් නීනා අකුරක් නෑර විස්තරේ අහ ගෙන තමයි නවතින්නේ. ආයි ඉතින් අහස කඩන් වැටෙනවා කිව්වත් ඒ ගැන අහන එක නවත්තන්නේ නම් නෑ!
“අන්න ඒකනේ කතාව!” අම්මටත් මං එයාගේ දුව ද කියලවත් මතක නෑ වගේ! මාව ගණන් ගන්න තවත් නැතුව ඔය නීනාට කතාව කියන්න පටන් ගත්තේ.
මං ඒ දෙන්නට ඕනෙ කෙහෙල්මලක් කර ගන්න කියලා දෙන්නට ම රවා ගෙන කාමරයට ගියා. ‘විකට ඇදුම් තරගෙකට ගිහිල්ලා නම් වෙන්න බෑ හැබැයි. මූණ බැලුව ම තේරෙනවා ඇත්තට ම අත කැඩිලා කියලා!’