මහා වරුසාවෙන් තෙමීගත් පොළොවෙන් නැඟෙන මා කවදත් ප්රිය කරන අපූරූ සුගන්ධය ආඝ්රාණය කරමින් දොර පිල්කඩින් වාඩි වූයේ ලද සුළු ඉසිඹුවේය. අහස සිය ඝන කාල වර්ණ සලුපිළි මඳින් මඳ ලෙහා දමමින් සිටී. ඒ ලැබෙන ඉඩහසරින් සූර්යා සිය රශ්මීන් අහස් තලය සිසාරා යවති. එය හරියටම හිරු නමැති සැමියාගේ දෑතින් ගගන නමැති බිරිඳගේ වැහි වලාකුළු නම් සලුපිළි ලතාවකට ගැලවෙන්නාක් බඳුය. අවට දසුන් සුන්දරය; මනස්කාන්තය; ලගන්නාසුළුය. මෙකී පරිසරය මා පිස්සු හැදුණ කවිකාරයෙකුගේ තත්වයට පත්කොට ඇත. සියලු කවිකාරයෝ පිස්සන් බව මගේ නියමයකි.සියලු කවිකාරයෝ පිස්සෝ වුවද සියලු පිස්සන් කවිකාරයෝ නොවෙති !පරිසරය විඳීමට ඉඩක් නැත. ජංගමයා නැවතත් මරහඬ තියන්නට පටන් ගත්තේය. ඇමතුම අමිඳුගෙනි. මා සැනෙකින් සංවාදයට අවතීර්ණ වීමි.
" මචං ගීත්, අර මං කිව්ව වැඩේ සෙට්ල් වෙලා බං. උඹ අද හවස ෆ්රී නේද ?" හුස්මකට ඉඩක් නොතියා ඔහු කියාගෙන ගියේය."ඔව් බං... උඹ වරෙන් මාව ගන්න. වැඩ වැඩ උනාට සල්ලි නෑ බං බස් එකේ යන්නවත්..."
"හරි බං...ආ මේ...කාලකණ්ණියා වගේ එන්නෙ නැතුව පොඩ්ඩක් වැදගත් විදිහට වරෙන්.ඒ මිනිහා හෙනම සල්ලි කාරයෙක් බං.ඌත් අපේ වයසෙලු.ඒත් ඉතින් ඌ කොහෙද ...අපි කොහෙද..."
"එහෙම තමයි බං...තියෙන එකාට හැමදාම තියෙනවා.උත්සහවන්ත නැති එකා කොහොමහරි හොයාගන්නවා.ඒ දෙකම නැති අපි හැමදාම හිඟන්නෝ..." අමිඳු හූමිටි තැබීය. ඇත්තය . නමුත් තිත්තය.
"දැන් උඹ කීයටද එන්නේ ? "
"තුන වෙද්දි රෙඩි වෙලා හිටපං..."
"හරි බං..."
"හරී...මං තියනවා එහෙනම්"
"පරිස්සමින්..." ඔහු ඇමතුම විසන්ධි කළේය. මම ඔරලෝසුව දිහා බැලුවෙමි.වෙලාව දෙකය. මට ඉබේම සුසුමක් පිටවිණි.
.
.
.
.
.
හෝටලය අති විශාලය; මනස්කාන්තය. තරු හතේ හෝටලයකට මා මීට පෙර ගොස් නැති බැව් සැබැවි. ටයිකෝට් දමා පැමිණි මුල් වතාව බැව්ද සැබැවි. ඒද අමිඳුගේ ඉල්ලීම පිටය. එසේ ආ එක ගැන මටද තෘප්තිමත් විය හැකි වූයේ මෙවන් තැනකදි මා 'ගොඩයෙකු' ලෙස නොපෙනීම නිසාය.
![](https://img.wattpad.com/cover/340992210-288-k795175.jpg)