01 Introduction

310 46 7
                                    

ලිංගාශ්‍රිත රෝග (පැරණි යෙදුම සමාජ රෝග)
අහලා තියෙනවා ද? කියවලා තියෙනවා ද? නැත්තම් කවුරු හරි කතාවට කිව්ව දෙයක් අහලා ඒක හරියි කියලා හිතාගෙන ඉන්නවද?

බොහෝ දෙනා තවමත් හිතාගෙන ඉන්නෙ පොදු වැසිකිලි පාවිච්චි කළාම, කොමෝඩ් සීට් එකේ වාඩි වුණාම මේ රෝග හැදෙනවා කියලා.

ඇත්තටම එහෙමද?

ලිංගාශ්‍රිත රෝග කියන්නෙ විෂ බීජ ආසාදනයක් නිසා ඇතිවන රෝග.

කොහොමද මේ ආසාදනය සිද්ධ වෙන්නෙ?
මේ විෂබීජ ශරීරගත වුණ කෙනෙක් එක්ක ලිංගිකව එකතු වීමෙන්.

මෙහෙම හිතන්නකො, කොවිඩ් කෙනෙක් ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්නෙ කොහොමද? ඒ වෛරස් එක ඇඟේ තියෙන කෙනෙක්ගෙ කහිනකොට හරි කිවිසුම් යනකොට හරි පිටවන බිඳිති (droplet) තව කෙනෙක්ගෙ ශ්වසන පද්ධතියට ඇතුළු වුණාම. අන්න ඒ වගේ තමයි ලිංගාශ්‍රිත රෝගත්, ඒ අදාල විෂබීජ ආසාදිත අයගෙ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව තියෙනවා. එතකොට ලිංගික එකතුවීමකදි මේ විෂබීජ අනෙක් කෙනාට සම්ප්‍රේෂණය වෙනවා.

ඒ වගේම තමා මේ රෝග ගර්භනී මවගෙන් දරුවාට සහ මව්කිරි දීමේදී සම්ප්‍රේෂණය වෙන්නත් පුලුවන් .

ලිංගාශ්‍රිත රෝග බෝ විය "නොහැකි" ක්‍රම
අතින් ඇල්ලීම
එකම පිඟන් කෝප්ප භාවිතා කිරීම
ඇඟ පිහින තුවාය හුවමාරු කරගැනීම
මදුරු දෂ්ටනය
එකම වැසිකිලි භාවිතා කිරීම

එතකොට මොනවද මේ විෂබීජ?
බැක්ටීරියා
වෛරස කියන කාණ්ඩ දෙකේම ක්ෂුද්‍රජීවීන්ගේ මේ රෝග හැදෙන්න පුලුවන්

බෙහෙත් තියෙනවා ද?
ඔව්, සමහර ලිංගාශ්‍රිත රෝග සම්පූර්ණයෙන් හොඳ කරන්න බෙහෙත් තියෙනවා
ඒ වගේම තව කොටසක් , වෛරස මගින් හැදෙන රෝග, පාලනයට බෝ වීම වැළක්වීමට, සංකුලතා වැළැක්වීමට බෙහෙත් තියෙනවා .

මොනවද මේ රෝග?
ගොනෝරියාව
ක්ලැමීඩියා ආසාදනය
සිෆිලිස්
ලිංගික හර්පීස්
ලිංගික ඉන්නන්
HIV ආසාදනය
හෙපටයිටිස් B ආසාදනය

රෝග ලක්ෂණ මොනවගේද?
කලින් කීව රෝග ගැන වෙන වෙනම ලියන්නම්. පොදුවේ ගත්තොත් ඔබ අවධානය දෙන්න ඕනෙ රෝග ලක්ෂණ ,
ලිංගාශ්‍රිතව අසාමාන්‍ය ස්‍රාවයන් පිටවීම
ලිංගාශ්‍රිතව ඇතිවන බිබිලි, තුවාල, ගැටිති
HIV ආසාදනය නම් මූලික අවධියේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නෙ නැහැ.

බොහෙත් ගන්නෙ කොහොමද ?
ලංකාවේ මේ රෝග සඳහා ප්‍රතිකාර ලබාදෙන සායන තියෙනවා. 2021 වසර වෙද්දි රට පුරා සායන 41 ක් තිබෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වැඩසටහන මගින් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ දැක්වෙනවා. සෑම දිස්ත්‍රික්යකම ප්‍රධාන රෝහල් ආශ්‍රිතව මේ සායන පැවැත්වෙනවා.

සායනයකට ගියොත් privacy issues එයිද?
නැහැ, කීයටවත් එහෙම වෙන්නෙ නැහැ. ඔබට වෛද්‍යවරු එක්ක කතා කරන්න තියෙන්නෙ වෙනම කාමරයක, ඒ කාමරයට වෙන කිසිම කෙනෙක් එන්නෙ නැහැ. ඒ වගේම ඔබ කතා කරන දේවල් පිට ඉන්න අයට ඇහෙන්නෙත් නැති විදියට  ඒ සායන හදලා තියෙන්නෙ.

ඔබේ රෝග නිර්ණය වෙනුවෙන් වෛද්‍යවරු ලබාගන්න දත්ත කිසිම හේතුවකට පිටස්තර පුද්ගලයන්ට ලබා දෙන්නෙ නැහැ. සායනයෙන් ඔබටම අනන්‍ය වුණ අංකයක් ලබාදෙනවා. ඒ අංකයෙන් තමයි සියලු දත්ත ගබඩා වෙන්නෙ.

ඔබ සාමාන්‍ය සායනයකට ගියාම රුධිර පරීක්ෂණයක් කරන්න වෛද්‍යවරයා තීරණය කළොත්, ඔබ දැකලා ඇති අපි මුලින්ම ලියන්නෙ නම. ඒත් මේ සායනයේ කිසිම රුධිර පරීක්ෂාවක් ඔබේ නම් සටහන් කරගෙන කරන්නෙ නැහැ. හැමදෙයක්ම වෙන්නෙ ඔබේ අංකය යටතේ. අංකය දන්නෙ ඔබ පමණයි. වාර්තා ලබාගන්නත් අංකය සමඟ අංකයේ අයිතිකාරයා ම එන්න ඕනෙ. වෙන කෙනෙක් ඇවිත් ඔබේ අංකයට අදාල වාර්තාව ඉල්ලුවාට වාර්තා නිකුත් කරන්නෙ නැහැ.

මේ රෝග ගැන දැනගන්න ඕනෙ ඇයි?
♦️ තමන්ට වැළඳුනොත් නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීමට
♦️ ඔබ දන්නා අයෙක්ට රෝග ලක්ෂණ ඇති බව කීවොත් නිවැරදි තැනට යොමු කිරීමට
♦️ රෝග පාලනය හෝ රෝගය සුව කරගැනීම තුළින් ඇතිවිය හැකි වෙනත් සංකූලතා වළක්වා ගැනීමට

මෙහෙම රෝග තියෙන අයව කොන් කරන්න ඕනෙද?
කිසි සේත්ම නැත. ඒවත් තවත් එක විෂබීජ ආසාදනයක් , වෙනසකට තියෙන්නෙ විෂබීජ තියෙන්නෙ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව වීම.

මේ ලියමනෙන් දැනුමට යමක් එකතු වන්නට ඇතැයි සිතමි.

A/n දැන් නම් මම වැඩ කරන්නෙ මේ අංශයේ නෙවෙයි. ඒත් මේ මාතෘකාව ගැන ලියන්න කාලෙක ඉඳලා ආසාවෙන් හිටියෙ. වට්පෑඩ් ප්‍රජාවට ලියන එකේ මූණු පොතටත් ඇඩ් කරන්න හිතුනා.

විතැන්
11/06/2022
මම මගෙ පොත් share කරන්න කියලා ඉල්ලන්නෙ නෑ. ඒත් මේ පොත ඔයාලා share කරනවා නම් මම කැමතියි ,කාට හරි උදව්වක් වේවි.

⭕The Hidden ⭕Where stories live. Discover now