03.පළමු හමුවීම

740 77 10
                                    

අභී POV
________

___වසර 2 කට පෙර ___

"අභී...! කාලා ඉන්නකො මයෙ පුතේ.. බලන්න දැන් වෙලාව කීයද කියල "

"මට දැන් ම බඩගිනි නෑ අම්මා... අම්ම කන්නකො"

"මං කන එක නෙවෙයි දරුවො, නොකා නොබී ඔහොම මහන්සි වෙන්න ගිහින් අසනීප උනොතින් එහෙම."

"අම්මගෙ පුතා එච්චර දුර්වල නෑ අම්මා."

"කට නම් තියෙනවා මේ කොල්ලගෙ පණ්ඩිත කමට"

මං හිටියෙ නීති පොත් කන්දක් අස්සෙ හිර වෙලා. මේ දෙවෙනි අවුරුද්ද. මං මහන්සි වෙන්න ඕනි. Repeat වෙන්න බෑ. එහෙම උනොත් අහක යන්නෙ මගෙ කාලය. ගොඩ ගැහිල තියෙන assignment ටික දැක්කම කන්න වත් හිතෙන්නෑ දෙයියනේ.

මං කන්නෙ නැති නිසා ම මට නෝක්කාඩු කිය කියා ගිහින් අම්මා ආයෙම TV එක ඉස්සරහ වාඩි උනා. තව ටිකකින් ඉතිං ඔතන ම බාගෙට නිදි. කොච්චර කිව්වත් මං කනකල් ඉන්නැතුව කන්නයි කියල එහෙම කරපු එක දවසක් වත් එයාගෙ ජීවිතේ නැති තරම්. ස්කෝලෙ කාලෙ ඉදං ම එහෙමයි. මං ශිෂ්‍යත්වෙ ට පාඩම් කරද්දි උනත් එයා මා ගාවින් ම ඉදියා. එතකොට මේ වගේ ලයිට් තිබුනෙ නැ. මං 8 වසරෙ දි වගේ තමා අප්පච්චීටත් ප්‍රමෝශන් එකක් ලැබුන නිසා අපි කොලබින් ගෙයක් ගත්තෙ. ඉතිං ගමේ උන්න කාලෙ පොතට වැටෙන එලිය වෙනස් නොවී තියන්න කුප්පි ලාම්පුවෙ තිරේ දිහා නිතරෝම බල බලා භූමි තෙල් පුරෝ පුරෝ මා ගාවින් ම ඉදියා අම්මා. නීතිඥයෙක් වුන දාට මං අද මේ තැන ඉන්නෙ මගෙ අම්මා හැමදාමත් මගෙ පස්සෙන් ම හෙවනැල්ලක් වගේ ඉදපු නිසා කියල මං මුලු ලෝකෙම ඉස්සර කියනව. පස්සෙ කාලෙ අප්පච්චීත් නැතුව මාව හදාගන්න මොන තරම් දුකක් එයා වින්ද ද කියල මට අමතක නැ. හෙලපු දාඩිය එක බින්දුවක් ගානෙ, නිදි මරපු රැයක් ගානෙ මං මගෙ අම්මට ලස්සන කාලයක් ගෙනත් දෙනව සැනසීමෙන් රැජිනක් වගේ ඉන්න පුළුවන් ...

මට මතකයි මං රෑ 11 විතර වෙනකල් පාඩම් වැඩ කලා. ඊටපස්සෙ මට එහෙම ම පොත් මේසෙ නින්ද යන්න ඇති. මට දැනුනා හීන් සීරුවෙ මගෙ හිස කෙස් අතර සනීපෙට එහෙ මෙහෙ යන ඒ හුරු පුරුදු ඇගිලි තුඩු වල පහස.

ඒ අම්මා..

"නැගිටින්න දරුවො ... කෝ කෝ... මේ බත් කටක් කාලා ඉන්න."

සුදු රෝස✅ [Nonfic BL💛💜️]Where stories live. Discover now