( මෙහි එන නම්,ගම්,කාලය සියල්ල මනඃකල්පිත වේ.)
.
ඒ අසාමාන්ය අවුරුද්දක සාමාන්ය හවස් වරුවක්,වෙලාව හතරට විතර කිට්ටු වෙන්න කොළඹ වේල්ල විල වත්තට ආවේ ලොකු වාහනයක්.හෝන් හඩත් එක්කම වත්තේ ඇතුළ් පාර දිගේ ඇදුණු කැබ් එක දිහා වත්තේ මිනිස්සු ඇස් නලළේ තියාගෙන බලාගෙන හිටියෙ ඒ පැළ්පත් වගේ පෙනුණ ලෑලි ගෙවල් වලිනුත් එළියට බැහැලා.හරියට වෙසක් පෝයට මිනිස්සු තොරණ් බලන්න එක්කහු වෙනවා වගේ.මොකද ලොකු වී අයි පී කළු කැබ් එක පිටිපස්සෙන් තවත් ඒ වගේම කැබ් දෙක තුනක් ඇදෙද්දී ඒ මිනිස්සුන්ට ඒක නුහුරු දෙයක් වුණා.
" හත්වලාමයි..මන්ත්රීතුමාගේ වාහනේ..."
" වෙන්නැති බන්... නැත්තන් ඉතින් ඔච්චර ආරක්සාවක් මොකටද බලහන්.."
" මෙදා පාරත් පදුමයාගේ පිටේ මොනාහරි බාන්න එනවැත්තේ..මං හූනා කියන්නා වගේ කියන්නේ..ඕං බලහං.."
" අනේ අම්මපා..මේ පදුමටත් මොකද ඉතින්..සල්ලි දෙනව කිව්වොත්... උගේ අම්මගේ අප්පගේ මිනීත් මතුවෙයි කැලණි ගඟෙන්..උන්ගේම කපටි කයිරාටික වැඩ වලට මිසක්ක..මන්ත්රීවරු කවද්ද බන් අපිට යහපතක් කරන්න මේ වතු වලට බහින්නේ..."
" අනේද කියන්නේ...නෙද්දකින් කපටි හැත්ත.."
කඩප්පුලි දේශපාලඥයන්ගේ හත්මුතු පරම්පරාවම හැදිගෑවෙන්න තරම් මිනිස්සු දෙස් දෙවොල් තිබ්බත් ඒ මිනිස්සු කිව්වේ ඇත්තයි කියන එක හංගන්න දේශපාලන මැර බලයටවත් බැරි වුණා.කවදාවත් වේල්ලෙ විල මිනිස්සු වෙනුවෙන් වත්තේ එක අගලකට බහින්නේ නැති මන්ත්රීවරු අවුරුද්දකට සැරයක් හරි වත්තට ආවෙම උන්ගේ මැරකන් වලට ඕන මිනිස්සු හොයාගෙන මිසක් ඒ අසරණ මිනිස්සු උන් වෙනුවෙන් ගහපු කතිරෙට කළගුණ සළකන්න නොවන බව මුළු වත්තම දැනගෙන හිටියා.දීශ් රොද්රිගු මාන්නප්පෙරුම කියන්නෙත් අන්න ඒ වගේ මනුස්සයෙක්,මනුස්සයෙක් කියනවටත් වඩා මිහිපිට වෙසෙන අමනුස්සයෙක්ය කිව්වොත් හරි.
වී අයි පී කැබ් හතරම නැවැත්තුවේ සිමෙන්තියෙන් හදාපු ගෙදරක් ඉස්සරහ වෙද්දී ඒ ලීයෙන් වැට ගහලා වට කරපු මිදුලට කැබ් හතරක් බාන්න තරම් ඉඩක් නොවුණ නිසා කැබ් හතරම නැවැත්තුවේ වේල්ල විල අතුරු පාර අයිනේ..
YOU ARE READING
අසීමාන්තික || Non Fiction
Non-Fictionඑක පාරටම ලයිට්ස් ඕෆ්.... ආයෙත් ලයිට්ස් ඔන් වුණා තප්පර ගාණක් යන්නත් කලින්.... " ඇති යන්තං අර ඉන්නේ....." සැනසුම් සුසුම පහතට දැම්ම දීශ්ට නම් ආයෙත් හරි ආසාවෙන් බලන් ඉන්න දෙයක් ලැබිලා වගේ....මේ වෙඩි හුවමාරුව අස්සෙත්... ලයිට්ස් ඔන් වෙනවත් එක්කම දීශ් හොයා...