පළාත් තරගවලට ටික ටික කිට්ටු වුණේ බලාපොරොත්තු වුණාටත් වඩා වේගෙන්... අනේ අපෙ ඉස්කෝලෙ කොල්ලො කෙල්ලොන්ටනම් මහ ලොකු තේරුමක් නෑ ඔය දිවිල්ල ගැන... මං කියලත් ලොකුවට හොයන්නෙ නෑ ඉතින්... දිව්වා, දින්නා... එච්චරයි!
"රංග තව ටිකක් ස්ටාර්ට් එක ගන්න විදිහ ප්රැක්ටිස් කරානම් හොඳයි... මම කිව්වෙ, කොන්ද කෙලින් තියාගෙන දුවන්න ගැම්ම ගන්න අමාරුයි දරුවො... ටික ටික දුවන ගමන් තමයි කෙලින් වෙන්න ඕන. ආයෙම කරමු!" භාසුරු සර්ගෙ උපදෙස් එක්ක මං ආයෙම පුරුදු වෙන්න ගත්තා...
කොච්චර කරත් පටන් ගන්නකොට දන්නෙම නැතුව කොන්ද කෙලින් වෙන එක හරිගස්සගන්න බෑනෙ මට... එහෙම දුවන්න ගන්නකොට වේගෙ අඩුයි. මටම ඒක තේරෙනවා... අප්පච්චිට කියන්න ඕන තඩි ගලක්වත් කොහෙන් හරි ගෙනල්ලා මගෙ කොන්ද උඩට අතාරින්න කියලා එක්කො...
මං කැමතිම නැත්තෙ මේ පිට්ටනියෙ දූවිලි ඇවිස්සෙන එකට. පහුගිය දවස්වල වැස්ස තිබ්බට මොකද, දැන් වැහි පොදක් පේන්න නෑ... ශික් අප්පා දූවිලි ඇවිස්සෙනකොට මගේ අලුත් සපත්තු කුට්ටම දූවිල්ලෙන් වැහිලා යනවා... හැමදාම හෝදන්නත් පුළුවන් කියලයැ!
මොනා වුණත් ඒ සපත්තු දෙකනම් මරු! දුවනකොට නිකන්ම කකුල් උඩ පනිනවා වගේ... ලොකූ මහන්සියක් ගන්න ඕන්නෑ කකුල් උස්සන්න... ඇත්තට මෙච්චර ලේසියෙන් දුවන්න පුළුවන්කම තිබිලත්නෙ මං බාටා කෑලි දෙකක්වත් නැතුව ගල් ඇනි ඇනී කැලේ පුරා මතක ඇති කාලෙක ඉඳන් දිව්වෙ!
"හෙට උදේම එන්න රංග! තෙරුවන් සරණයි. පරිස්සමින් ගෙදර යන්න..." සර්ට වැඳලා මං එන්න ආවෙ ප්රැක්ටිසුත් එදා දවසට ඉවර කරපු නිසා...
මහන්සියි කියන්නෙ ආයෙ දැන්ම ඇලේ පැනලා නෑවහැකි... වැඩේ කියන්නෙ ඇඳුම් ගෙනාවෙ නෑ නෙව... තෙමිච්ච කුකුලා වගේ ගෙදර ගිහින් අම්මගෙ දෙහි කැපිලි අහනවට වඩා හොඳයි ගෙදර ගිහින්ම ඇල පැත්තට යන එක....
හැන්දෑවෙ පහටවත් කිට්ටු කරලා ඇති. අහස ටිකක් රෝස පාටත් වෙන්න අරගෙන... කොහොමත් මෙහෙට ටිකක් ඉක්මනට ගොම්මන අල්ලනවනෙ... මට ඕවා ගාණක් නෑ ඉතින්... කවදත් යන එන පාරනෙ... ගුරු පාර දිගට හරී ලස්සනට බලු නකුට පඳුරුවල මල් පිපිලා... බල්ලෙක්ගෙ වල්ගෙ වගේ ඇඹරිලා තියෙන හින්දා එහෙම කිව්වට මොකද, දම් පාට පුංචි මල් පේළියේ පුදුම ලස්සනක් තියෙන්නෙ... මං මහ ගොඩක් මල් තිබ්බ හරියකින් එක ඉත්තක් කඩා ගත්තා... ඒ දම් පාට හරි ලස්සනයි... දම් විතරක් නෙවේ නිලුත් වගේ ටිකක්... අහසෙ රෝස දම් පාටට නියමෙට ගැලපෙනවා...
ŞİMDİ OKUDUĞUN
ලන්දේ උකුල උඩ | Sinhala BL
Genel Kurguපොඩි නිලමෙ තරම් ආදරණීය මනුස්සයෙක් මට කවදාවත්ම මුණගැහිලා නෑ... මට විශ්වාසයි, කවදාවත් මට තවත් ඒ තරම් ආදරණීය හදවතක් මුණගැහෙන්නෙත් නෑ... කල්හාර මල් පාට නෑ කිව්වට, ඉබේටම පිපිලා, ඉබේටම පරවෙලා යනවා කිව්වට, කැලේ පිපුණ මලක් වුණ මට ජීවත් වෙන්න හුස්ම දුන්නෙ පස...