එක දිගට යෙදුනු ඉගැන්වීම් ගණනාවකට පසු ලැබුන කෙටි විවේක කාලයෙදි නිරාෂා පන්සිළු හිටියෙ තෙවන පෙළේ මේසයකට හිස තබාගෙන නින්දත් නොනින්දත් අතරෙ. නමුත් ඇයට එසේ බොහෝ වෙලාවක් නිඳාගැනීමට නොහැකිවුනේ නදීෂ් සිංහවංශ නම් තම පාසල් සගයා නිසාවෙන්."නිෂූ......මෙන්න මේකෙ වැරදි තීනවද බලලා දෙනෝකො." දෙඇස් වසාගෙන සිටි ඇයගෙ හිසට රෝල් කර ගැට ගසා තිබූ ඒ ෆෝ කොළ රෝලකින් තට්ටුවක් දැමූ ඔහු සිටියෙ එහා පස අයිනෙ වූ මේසයට හේත්තු වීගෙන.
යම්තමට දෑස් හැර නොරිස්සුමෙන් බැලූ ඇය හිස කෙලින් කරගත්තා. දෑත්වල හිරි ඇරගත් පන්සිළු ඔහු දිගු කළ කඩදහිය තම දබරැඟිල්ලත් මහපටගිල්ලත් අතරට සිර කරගනිමින් එය තමා අසලට ගන්නට වුනේ පුටු ඇන්දට හොඳින් හේත්තු වෙමින්.
එය බැලූ බැල්මට ඉංග්රීසි බසින් ලියූ පෙම් හසුනක්. ආමන්ත්රණයක් නොමැති හසුන් පත ඇය කියවන්නට වුනා.
"this is three year we have met. so happy valantin love."
අදහස : ( "අප හමු වී ගෙවෙන තුන්වන අවුරුද්දයි මේ. ඉතින් ප්රේමිය, සුභ පෙම්වතුන්ගේ දිනයක්."
නදීෂ්." )එය කියවූ ඇයගෙ තොල් අඟ සිහින් මන්දස්මිතියක් ඇදී මැකී ගියා.
"ඔයාගෙ අර නංගි බබාටද?" ඇය තම මිතුරගෙන් අසන්නට වුනේ මනමාල සිනහවකින් මුව සරසගෙන.
"හ්ම්.." ඔහුගේ පිළිතුර එපමණක් පමණක්ම වුනා. ඇගේ වචනත් සමග දාසැවිරිදි පිරිමි ළමයෙක් වූ ඔහුගෙ මුවෙහි තරමක රත් පැහැයක් ඉහිරී තිබුනා. හිරිමල් වයසෙ ඇරඹි නැවුම් ප්රේමයකින් ඔහුගෙ දිවිය ආලෝකමත් වන්න ගත්තෙ ඔහු අට වසරෙදි. ඒ ඔහු ඇබිත්තන් කොල්ලකු වූ කාලයෙ. ඔහුට වඩා වසර දෙකකින් බාල හුරුබුහුටි ගැහැණු ළමෙක් ඔහුගෙ සිත ගන්නට සමත් වී තිබුනා. පාසල තුල එම ප්රේමය නොරහසක්. ගුරුවරුන් කිහිපවිටක ඔවුන්ට අවවාද කල තිබුනත් එම ප්රේමය නොනැසී පැවතුනා.
"අම්මේ ඉතින්...කොල්ලගෙ ලැජ්ජාව."
"අනේ මේ නිෂූ මඟුලක් නොකියා ඕක බලපන්කො." ඔහු ඇයට නොරිස්සුමෙන් පවසන්නට වූයෙන් ඇය රවමින් ඈ දෑස් යොමු කලේ කුරුටු ගා තිබූ වචන පේළියට. කිහිපවරක්ම නිවැරදිව වාක්ය ගැලපීමට ගත් වෑයම් කීපයක ප්රතිඵලයක් ලෙසට කඩදහිය තරමක් අපිළිවෙලට දිස් වුනා.