දම් පාට හැන්දෑව

40 12 8
                                    

කලබලකාරී  නගරයකට උඩින් අහස තිබුණෙත් කලබල වෙලා.  මේ නගරේ හවස් වරු ඔහොම තමයි.  කුරුල්ලොත් කලබලේ ගෙදර දුවන්න.  එක රෑනට එක දිහාවට පියාඹනවා.
කලබල නගරේ උනත් සන්සුන් උයනක් තියෙනවා.  ගිනිගත් නගරේ මැද්දේ සීත බදන ජලාශ යක් තියෙනවා. ඒ ජලාශේ අයිනේ තියෙන නිසා වෙන්න ඇති උයනේ සිහිලක් රැඳෙන්නේ . මේ හැන්දෑවෙත් කලබල මිනිස්සු යනවා එනවා.
ඒ මැද්දෑවේ උයනේ කලබල නැති දෙන්නෙක් වාඩි වෙලා ඉන්නවා.  සමහරවිට කලබල වුණාට,  කලබලේ නොපෙන්වන දෙන්නෙක්., නැත්නම් කලබලේ අමතක කරපු දෙන්නෙක්.  මේ දෙන්නා හොඳම මිතුරියන්.
එයාලාට අද  හවස අහස දිහා බලාගෙන ඉන්න වෙලාව තියෙනවා.
ඉතින් අහසත් පැස්ටල් පෙට්ටිය එළියට  ඇදලා අරන් අද.
අහස පුරා සෞම්‍ය පැස්ටල් පාට ගානවා.
රෝස, කහ, තැඹිලි.
' අර බලහන්   සකූ,  අහසේ ලස්සන..'
හංසි පරිප්පු වඩේ එකක් හපන ගමන් කිව්වා. 
' හ්ම්...' ඒක හරිම උදාසීන 'හ්ම් 'එකක්.
අවුරුදු ගාණකට පස්සේ හම්බවෙලත් හංසි ට , ඒ 'හ්ම්' එකක වෙනසත් මීටර් වුණා.
' ඇයි? දැන් උඹට අහස දිහා බලන් මනෝ ගහන ලෙඩේ නැද්ද? ඒක කොයිතරම් හිත නිවනවද කියලා මෙහෙම ඉඳන් බලන් ඉන්න කොට තමයි පේන්නේ බං... '
' ඒ ලෙඩේ විතරක් නෙමෙයි බං . තව ලෙඩ ගොඩක් සනීප වුණා, මේ ලෙඩේ හැදුනට පස්සේ ' සකූ තව වඩේ එකක් හංසිගේ පිඟානට දැම්මා.
' මොන??'  හංසි තවම අහසේ සිහියෙන්.
' කසාදේ බං කසාදේ..ලෝකේ තියෙන ලොකුම ලෙඩේ..'
ඒ දෙන්නම උස් හඬින් හිනා වුණා.
දෙන්නා දෙන්න ගේ කල්පනා ලෝක වල අතරමං වෙවී වඩේ ටිකට වග කියලා තිබුණා.
ආයෙම කතා කරන්න මතක් වුණේ කෝපි කෝප්පේ අතට ගත්තහම. 
' මට හිතෙනවා ආදරේ කරන්න...' සකූ එහෙම කිව්වේ සැරින් සැරේට පාට මාරු කරන අහස දිහා බලාගෙන.
හංසි ඇස් ගස්සලා සකූ දිහාට හැරුණා. අතේ තිබ්බ කෝපි කෝප්පේ කට ළඟ ට ගන්නත් අමතක වුණා. 
ටික වෙලාවකට පස්සේ හංසි ගේ ඇසුත් දිළිසුණා. තවමත් මැකිලා නැති ඉර එළිය අස්සේ,  උස කණුවක එල්ලිලා මලානිකව එළිය කාන්දු කරන වීදි ලාම්පුවක එළිය වැටිලා නෙමෙයි ඒ.
ආදරේ කියන වචනේ ඇතුලාන්තයෙන්ම ආපු එළියකින් ආත්මය දිළිසෙන්න ගත්ත හින්දා.
' මාත් ආසයි බං..හිත පිරිලා උතුරලා යන තරමට ආදරේ කරන්න. හිස් තැනක් නොතියා ආදරේ දීලා බලන්න...'
ඊළඟට සකූගේ ඇස්වල දිස්නේ වැඩි වුණා.

'ආදරෙන් පිරෙන්න.. ආදරේ ලබන්න..'
' මාත් ගැහැණියක් කියලා දැනෙන්න..ලතාවක් වගේ වෙළෙන්න....'
ඒ තාලෙට, ඒ ස්වරෙට හංසි ත් අත්වැල් ඇල්ලුවා.
' පපුවක් ගැහෙන හඬ අහන්න..උරහිසට හිස තියන්න...'
ඒ  පාර නම් දෙන්නම හයියෙන් හිනා වුණා.
හංසි ගේ කෝපි උගුරත් පිට උගුරේ ගියා.
සකූ එයාගේ පිටට තට්ටු කරද්දිත් හිනාව නැවතිලා තිබ්බේ නෑ . ඒ අසලින් ඇවිදන් ගියපු පිරිමි දෙන්නෙක් හැරිලා බැලුවේ,  ඒ හිනාව හරිම අවිනීත කොක්සන් හිනාවක් නිසා.  ඔහොම හිනා වෙනවයෑ ගෑණු?
සකූ ගේ ස්වරේ වෙනස් වුණා.
' මං මැරිලා නෑ කියලා දැනෙන්න..'
' හිත ගල් වෙලා නෑ කියලා හිතෙන්න '
' ආපිට නොලැබුණත්,  ආදරේ බෙදන්න..'
දෙන්නම හුස්ම හෙලුවේ අහස දිහා බලාගෙන.  ඒ සුසුම් සුළඟ ට පැස්ටල් පාට වලාකුළුත් විසි වුණා. 
හැන්දෑව දම් පාට වුණා.
දෙන්නටම කලබලේ බෝ වුණා.
දම් පාට හැන්දෑවට කියන්නේ තනිකමට කියන සමාන පදයක් කියලා දැනගන්න කොට මේ දෙන්නම කසාද බැඳලා තිබුණා.

ඉතුරු කෝපි උගුරට දෙකට හිස් වුණා.
' පුතා මල්ලිලාගේ ගෙදර දාලා ආවේ. පරක්කු වුණොත් හරි නෑ. නෑනා වුණත් කැමැත්තකින් නෙමෙයි පුතා බලා ගන්නේ '
නිදහසට කාරණාවක් වගේ පේන දුක් ගැනවිල්ලක් හංසි ට කියවුණා.
' මාත් අම්මලාට දාලා ආවේ...එයාලටත් බලන්න බෑ වයසයි නේ..ඊයෙත් වැඩ ඇරිලා යනකොට පරක්කු වුණා. තාත්තාගේ බෙහෙත් හොයන්න ෆාමසි තුනකට ගියා.  දුවගේ අත්වැඩ වලට ඕන කුරුළු පිහාටු හොයන්න බුක් ෂොප් ගානේ ගියා...ගෙදර යනකොට අට හමාරත් වෙලා. පුතාට කෑම කවලා තිබ්බෙත් දුව...'
හදිස්සියට කොපුල් හාදු හුවමාරු කරගත් දෙදෙනා පාරවල් දෙකකට වෙන් වෙලා එකම ගමනක් ගියා.
කලබලේ වැඩි වුණා.
හැන්දෑව තව තවත් දම් පාට වුණා…
30.05.2024

You've reached the end of published parts.

⏰ Last updated: Jun 20 ⏰

Add this story to your Library to get notified about new parts!

දම්පාට හැන්දෑව Where stories live. Discover now