සරත් ඍතුව ආරම්භ වී දින කිහිපයක් ගතවූවා පමණි...
පාසැල් ළමුන් සඳහා ලැබී තිබූ කෙටි නිවාඩුවත් සමඟ බොහෝ දෙනා විනෝද චාරිකා යාමට පටන්ගෙන තිබූ නිසා අනෙක් දිනවල පාළුවට ගොස් තිබෙන මාර්ග පවා මඳක් ජනාකීර්ණ විය.
කාංසාවෙන් පෙළෙන මෙන් ම බොහෝ දේ පිළිබඳ ඕනෑවට වඩා සිතන මිනිසුන් හට සරත් ඍතුව එතරම් සුබදායක නොවන බව මනෝවිද්‍යාඥයන් පවසන කරුණු සත්‍ය යැයි පැවසීමට මෙන් , කඩා හැලෙන මේපල් කොළ වසාගත් කුඩා ගල් බංකු වල තැනින් තැන වාඩිවී තනිව කල්පනා කරමින් සිටින දෙතුන් දෙනෙකි.
ඔරොත්තු නොදෙන රස්නය මැද ගත ම උණුසුම් ව වෙලා ගනිමින් හමා යන සුළඟෙහි වුව රැදී තිබෙන්නේ ශෝකාකූල බවක් ය.
මේ සියල්ල පසු කරමින් අළුපැහැ කබායක් සහ සම්පූර්ණයෙන් ම කළුපැහැය ගත් ඇඳුමකින් සැරසී සිටි කෙට්ටු උස පුද්ගලයෙක් මේපල් කොළවලින් වැසුණු කුඩා අතුරු මාර්ගයෙහි ඇවිදිමින් සිටියේ ඇඳුම මෙන් ම තනි කළුපැහැ වූ කුඩයක් ද ඉසලාගෙන ය.
ඔහු බැලූ බැල්මට මැදිවිය ඉක්මවා යමින් සිටින අයෙක් යැයි පැහැදිලිව පැවසිය හැකි වූ අතර පැළඳ සිටි රවුම් කාච යෙදූ උපැස් යුවළට යටින් වූ කෝපි දුඹුරු පැහැයට හුරු දෑස්වල රැඳී තිබූ මලානික දිස්නය ඔහුගේ ජීවිතයේ වර්තමාන තත්වය මොනවට කියාපෑවේය.
මේ ශීත ඍතුව නොවීත් මාර්ගයෙහි ඇවිදගෙන යමින් සිටින පුද්ගලයා එසේ ඇඳ පැළඳ සිටින්නේ ඇයි ද යන්න ඇතැම් අයෙකුගේ අවධානයට ලක් වී තිබුණු බවට සාක්ෂි වූවේ ඔහු පසුකරගෙන ගියත් නැවත හැරි හැරී බැලීමයි.
මග අයිනෙහි වූ විශාල මේපල් ගසකට හේත්තු වී මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිටි පාසල් තරුණයෙක් තමන් කරමින් සිටි දේ නවත්වා ඔහුව පෙන්වමින් උසුළුවිසුළු කිරීමට පටන් ගත්තේය. එය තමාට බව දැනී වරක් ඔහු හිස ඔසවා බැලුව ද ඔවුන්ව ගණනකට වත් නොගෙන සාමාන්‍ය පරිදි ඇවිදගෙන ගියේ එම තරුණයා තවත් කුමක් හෝ උස් හඬින් පවසනවා ඇසෙද්දී ය.
YOU ARE READING
𝙐𝙉𝙩𝙞𝙩𝙡𝙚𝙙 [ Oneshot ]✎by-Saaki
FanfictionIn a world where everyone is over exposed, The coolest thing you can do is maintain your mystery... It can also be LOVE...