සඳුන් දර මැද ඒ දෙන රක්ත වර්ණ ගිනි සිලු දිලිසි දිලිසී අවුලමින් දැවෙන්නේ ය. ඒ ගිනි දලු අහස කරා යන්නට තනන සේ විටින් විට උස්ව නැගෙණු නිර්වේද්යා බලා හුන්නේ සිය කදාමිණි රූ ඇති ලවණ දියෙන් බොඳ වූ නෙත් කෙවෙනි විදාලමිනි.
සිය හෘදය තුළ බුර බුරා ඇවිලෙන අග්නිය ඊට වඩා උසින් වැඩි වග ඇයට දැනුණි. ඒ මියලු තොටමුණ ට මෙපිටින් ගාල්හ නදී තෙර ය.
දැන් දැන් වේද්යාගේ මුවින් හඬ නොනැඟුණද දෑසට තවමත් ඇති වීමක් නොතිබිණ. ඕ සිය නෙත් කෙවෙනි වලට ඒ හිතුමතේ පිටාර ගලන්නට ඉඩ හැර හුන්නේ තවමත් ඇය කම්පනය තුළින් පිටතට නොපැමිණි නිසාවෙනි.
ඇයට දැවි දැවි නැගෙන ගිනි දලු අතරින් පෙරදින රාත්රිය මැවී පෙනුණි.
නිර්වේද්යා හුන්නේ වෙහෙස නිසා හෙම්බත් වය. ඒ අභිවර්ණා ගේ ප්රසූතිය විය. ඔවුන් සියලු දෙනාම හුන්නේ මියලු නුවර සඳකලා මැඳුරේ ය. විරාධ්ය ඇතුලු පිරිස කුටියේ ද්වාරයෙන් එපිට කල් බලන විට නිර්වේද්යා තනිවම අගස්ථි ගේ සහයෙන් පමණක් අභිවර්ණා ට සුවපහසුව සැලසීමට වෙහෙස වූවාය. න්යග්රෝධ අසපුව තුළ අධ්යාපනය ලද දක්ෂතම සුව්යාදි වරියක ලෙස ඇයට ඒ උදෙසා ඇති තරම් සුදුසු කම් ද විය.
අවසානයේ දැඩි පරිශ්රමයකට පසු නිර්වේද්යා ගේ දෝතේ හුන්නේ සුරතල් ආර්යාණු විය. ඕ විරාධ්ය ඇතුලු පිරිසට කුටිය තුළට ආරාධනා කළා ය.
"සුභ පැතුම් විරාධ්ය!"
නිර්වේද්යා දෝත නඟා මහත් වූ භක්තියකින් මෙන් සිඟිත්තාව විරාධ්ය අතට දුන්නා ය. විරාධ්ය ට දැනුණේ මුලු ලොවම දෝතට ගත් අන්දමේ හැඟීමකි. හේ ප්රවේශමෙන් සිය ලෙයින් සහජාත වූ ඒ නවජයාව සිය ඇකයට ගත්තේ මුකුටයක දළ පතක් නොරිදෙන සේ සීරුවෙන් ඒ සිඟිති නළලත මත සියුම් හාදුවක් ඇතිරුවේ ය.
"නාමයක් සිතුවාද?!"
නිශාධ්ය ඇසුවේ අගස්ථි හා ආයුවර්ධ ද මිණිරු ව ඇකයේ හොවාගෙන සතුටු නෙතින් බලා හිඳින විට විය. සඳබරණ නම් කුඩාවෙකු සේ හිස කසමින් කුටියේ මුල්ලක වූ අසුනක් මත නිද්රාවට වැටී තිබුණි.