ඇස් දෙකට රූපයක් නොදැක්කත්, කන් දෙකට ඇහෙන කටහඩට වශී වෙච්ච නේහ මිදුලට වෙලා සින්දුව ඉවර වෙනකම්ම අහන් හිටිය සින්දුව ඉවර වෙලා තප්පර ගානක් ගියත් කොල්ල තාමත් හිටි තැනම....
"දරුවෝ..... එන්න ඇතුලට"
හදිසියේ ඇහිච්ව කටහඩ නිසාම ගැස්සිලා ගිය කොල්ල ඉක්මනට ගේ පැත්තට හැරිලා ගේ දිහා බැලුවා.
දේවකී හිනා වෙවී බලන් ඉද්දී නේහත් යන්තමින් හිනා වේගෙනම ගේ ඇතුලට අඩිය තිබ්බ.
"මං ඒත් හිතුවා පුතාට අමතක උනාද දන්නෙත් නෑ කියලා"
"අනේ නෑ නෝනා. මට ටිකක් සනීප නැති උනා. ඒකයි ආවේ නැත්තේ"
"අනේ මොකද දරුවො උනේ, දැන් හොඳයි නේද"
"උණ හැදුනනෙ නෝනා, දැන් හොඳයි"
"අනේ මමත් මේ හිටගෙන කතා කර කර ඉන්නවනේ තාම. එන්නකෝ දරුවො ගෙට"
නේහගෙ අතේ තිබ්බ කවරෙත් අරන් දේවකී ඉස්සර වෙද්දි නේහත් පස්සෙන් ගියා. යාළුවෝ දෙන්නට පිං සිද්ධ වෙන්න කොල්ල දැන් ටිකක් අනිත් අයත් එක්ක කතා කරන්න හුරු වෙලා. අනික දේවකීලත් කොල්ලට දැන් අමුත්තෝ නෙවෙයිනෙ.
"මං බලාගෙන සින්දුව ආසාවෙන් අහන් ඉන්නවා, අපේ අවීගෙ කටහඬ ලස්සනයි නේද පුතා"
නේහ කෑම කාමරේ පුටුවකින් ඉඳ ගත්තම දේවකී කතා කරන්න ගත්තා. එතකොට තමයි නේහ දැන ගත්තේ ඒ සින්දුව කිව්වෙ ආන්ශ් කියල........
"ඔව් නෝනා ඇත්තටම ලස්සනයි"
"පුතා මියුසික් වලට ආසයිද. එහෙනම් ඔයත් එන්න අපේ පුතාගේ ක්ලාස් එකට. අපේ අවී සල්ලි ගන්නෙත් නෑනෙ දරුවො"
"අනේ චූටි මහත්තයා කැමති වෙයිද දන්නෙ නෑ නෝනා"
"ඒ මොකටද දරුවො එයා අකමැති වෙන්නෙ. අනික චූටි මහත්තයා කියන්න ඕන නෑ, අයියා කියන්න. මමත් කැමති නෑ ඔන්න මට නෝනා කියනවට හොඳද"
දේවකී පුංචි තරවටුවක් විදිහට හිනා වෙලා කියද්දි නේහ බිම බලන් හිනා උනා.
"අපි මොනව හරි කාලා තේ ටිකක් බොමු"
දේවකී කුස්සියට යද්දි නේහ කෑම කාමරේ තනි උනා. කෑම කාමරේ මේසෙ උඩ තිබ්බ ස්වාභාවික මල් වලින් ලස්සන වෙච්ච මල් පෝච්චිය දිහා බලාගෙන කොල්ල ඒකේ ලස්සන නිවී සැනසිල්ලේ විඳින ගමන් හිටියෙ.