දැන් දැන් ආයුටයි කේනුටයි තරහ වෙන එකයි ආයෙත් යාළු වෙන එකයි පුරුද්දට ගිහින්ද මන්දා. ඕක කවදා කොහෙන් කෙළවර වෙයිද කියන්න ඒ දෙන්න වත් දන්නෙ නෑ.
ආයු තේ එක බීලා ඉවර වෙලා කෙලින්ම ගියේ යක් පැටියා හොයාගෙන. හවස ක්ලාස් ඉවර වෙලා කඩා බිඳගෙන ආව හැටියට ආයෙත් ඒකව යාළු කර ගන්න අමාරු වෙයි වගේ.
ආයු යද්දිත් කිව්ව වගේම අංකල්ගෙ කාර් එක මිදුලෙ තිබ්බෙ නෑ. කොල්ල ගිහින් දොරට තට්ටු කරත් කිසිම සද්දයක් නෑ. කේනුට හයියෙන් කතා කරත් ඒකා ඇවිත් දොර ඇරියෙත් නෑ. බැරිම තැන ආයු නිකමට වගේ දොරේ අඟුල කැරකුවා. යක් පැටියා දොර වහල තිබ්බෙ ඇතුලෙන් ලොක් කර ගන්නෙත් නැතුව. ඒ නිසාම ආයු අඟුල කරකපු ගමන් දොර ඇරුනා.
ආයුට තරහයි. තනියම ගෙදර ඉන්න එකේ දොරවත් හරියට වහ ගන්න බෑනෙ. ආයු දොරත් වහගෙන කේනුගේ රූම් එකට ගියාම දැක්කෙ ඒකා ඉන්නවා ඇදත් බදාගෙන.
ආයු ගිහින් ඇදේ පැත්තක ඉඳ ගෙන කේනුට කතා කරද්දී කේනුත් ඇස් දෙක පිහ දදා නැගිටලා ඇද විට්ටමට හේත්තු උනා.
"අංකල් කෝ"
"ගියා"
"වැඩට"
"ම්ම්ම්"
"ඉතින් උබට අපේ ගෙදරට එන්න තිබ්බනෙ. බලපන් දොර වත් හරියට වහගෙන නෑනෙ"
"මාව කන්න මොකෙක් වත් එන්නෙ නෑ"
"පණ්ඩිතකමයි ලොකුකමයි නම් තියෙනවා මොනව නැතත්"
පොඩි ඇටයා ආයුට රවල අහක බලා ගත්ත.
"යමු"
"කොහෙද"
"කොහෙද අහන්නේ බූරුවෝ අපේ ගෙදර, ඇයි උඹ ඉස්සරත් ඇන්ටි නැති දවස් වලට වෙන කොහේ හරිද ගියේ"
"ඉස්සර දේවල් දැන් කරන්න බෑනේ"
"ඇයි ඒ"
"තමුසෙ වෙනස් වෙලා සුදු අයියෙ.... ත.... තමුසෙයි....... තාත්තයි දෙන්නම වෙනස් වෙලා"
අන්තිම ටික කියද්දි කොල්ලට ඇඩුන නිසා ආයුත් කලබල උනා.
"බොරු දේවල් හිතන්න එපා කේනු, මං වෙනස් වෙලා නෑ"
"නෑ තමුසෙ වෙනස් වෙලා"
"කේනූ"
"ඔය දැක්කානෙ දැක්කනෙ... දැන් සුදූ කියන්නෙත් නෑ, නම කියලමයි කතා කරන්නේ"