සෙනසුරාදා දවස නේහගේ ජිවිතේ වෙනසක් ඇති කරපු, හීන හැබෑ වෙච්ච අමතක නොවෙන දවසක් වෙද්දි එදා දවස කේනුටත් ජීවිතේට නම් අමතක වෙන එකක් නෑ. ඒ දවස එයාගෙ ජීවිතෙත් වෙනස් කරා.
කේනු එදා ක්ලාස් ඉවර වෙලා ගෙදර එද්දී තාත්තගෙ කාර් එක මිදුලෙ නවත්තලා. ඒක දැකපු ගමන් මෙච්චර දවසක් හිතේ තිබ්බ ප්‍රශ්න, දුක, ඔක්කොම ඉවරයි වගේ දැනුනා.
........ තාත්ත වෙනස් වෙලා නම්, එයාලාගෙන් ඈත් වෙලා නම් අද මෙහෙම එන්නෙත් නෑනෙ. දැන් ආයෙත් ඉස්සර වගේ එයා ගෙදර එයි. එදා ඉක්මනින් ගිය නිසා ඒකටත් හරි යන්න අද එන්න ඇති.......
කොල්ල එහෙම හිත හිතා සතුටින් දොරකඩ ළඟට ආවත් ඉද්ද ගැහුවා වගේ දොරකඩ නතර උනේ ඇහෙන දකින දේවල් නිසා.....
අම්ම හිටියෙ අඩ අඩා, ඒ විතරක් නෙවෙයි බිම වැටිලා...... තාත්තා කේන්තියෙන් කෑ ගහනවා.
"උඹට බැරි උනාට මට දරුවෙක් දෙන්න ඒ ගෑනිට පුළුවන් උනා යකෝ මගෙම කියල දරුවෙක් හදන්න. උඹේ තියෙන කාලකණ්ණි කමට දරුවෙක් වත් වදන්න බැරි උනා. දැන් උඹ කියන්නේ එතකොට මගේ දරුවව බඩේ තියන් ඉන්න ගෑනිව අතෑරලා උඹේ ළඟට එන්න කියලද"
කේනුගෙ අතේ තිබ්බ බෑග් එක බිමට අත ඇරුණු සද්දෙට තමයි අම්මයි තාත්තයි හැරිල බැලුවේ. ඇස් දෙකේ කදුළු පුරවන් ඉන්න කොල්ල දැක්ක ගමන් අම්ම ගැස්සිලා ගියා වගේම එයාගෙ එක අතක් නතර උනේ පපුව උඩ. තාත්තත් කේනුව දැක්ක ගමන් ගැස්සුණා.
"පු... පුතේ"
අම්ම කතා කරන ගමන් කලබල වෙලා නැගිටින්න හැදුවත් කේනු කරේ අනිත් පැත්ත හැරිලා දිව්ව එක. අම්ම අඩාගෙන පස්සෙන් එන්න හැදුවත් කොල්ල වේගෙන් දුවල ඉවරයි.
මෙළෝ සිහියක් නැතිව දුවන් ආව කේනු නැවතුනේ මහ පාරෙ. ඇස් දෙකෙන් හෝ ගාලා කදුළු වැටෙනවා.කකුල් දෙකත් වෙව්ලනවා. තාත්තට වෙන කෙනෙක් ඉන්නවා වගේම ඒ ගෑණු කෙනාට දරුවෙකුත් ලැබෙන්නලු..... ඒත් කේනුට ඒ දේ අදාළම නෑ..... එයාගෙ හිතේ තියෙන එකම දේ... තාත්ත කිව්ව අම්මට බැරි උනාලු එයාට ළමයෙක් දෙන්න. අම්මට දරුවෙක් වදන්න වාසනාවක් නෑලු..... එතකොට තමන් කව්ද, ඒ දෙන්නගේ දරුවෙක් නෙවෙයිද.... ඒ ප්‍රශ්නෙදි කොල්ල සෑහෙන්න අසරණයි.