අරියදේව තිගැස්සී ඇහැරුණේ ත් ඉස්තෝප්පුවේ පුටුව පිටමයි. වට පිට බලද්දීයි දුටුවේ ඒ කොස් කොළ නැටි යාන්තමට පේන නොපේන පාන්දර ජාමේ වග. පාන්දර පහ ත් පහු මයෙ හිතේ.
ඇස් ඇරෙන්න ට පෙරාතුව අරියදේව ගුරුන්නාන්සෙ උන්නේ මහ ඝන කැලෑවක් මැද වෙච්චි. එක පාරට වටේම කැරකිලා ගොහිං ආයෙම මොකක් දෝ පියුං පොකුණක් ළඟ. එන පැත්තකිං ඉහළට නැඟුණු මහා ගල් බිත්තියක පාමුලේ තිබුණ ඒ පොකුණ මත්තෙං ඉර එළියට පිපුණු මල් වල සුවඳ පවා අරියදේව ගේ නැහැ පුඩු වලට දැනුණා.
ඒ එක්කම නිල් කැටේට තිබුණ දිය දුඟුරු මඬ පාටට කලත්තගෙන මතු වුණේ මහා විසාල ආඳෙක්. ඒ කලු පාට ඇඟ පුරාම වහ ගත්තු කොරල පෙති දියට පෙඟිලා ඉර අව්වෙ දිලිහෙනවා. ඒකා අරියදේව ගේ ඇස් දිහා එක එල්ලේම බලාන ඉඳලා ආයෙම දිය යටට වැදිලා අතුරුදහන් වෙද්දී යි උහු දැක්කේ ආඳා ගේ කන. ඉර අව්ව වැදිලා ඇහැ ගිනි කන වැටෙන්නම දිලිහෙන රත්තරං කඩුක්කමක්.
දැනුයි අරියදේව ගුරුන්නාන්සෙ ට මේ ගිනි ගහන්නා හෙ පායන්න තිබුණා වූ නිකිණි මාසෙත් අකල් වරුසාවෙං හේදි හේදි හීතල පුරන්ට ගත්ත හේතු කාරණා වැටහහුං ගියේ.
ඉඩෝරය කාලේ වෙනදාට පතුලේ රොන්මඩේ පෑදෙන තරං ඉස්සත් උඩ නේන මේ කඩුක්කං ආඳා මේ වතාවෙ තමංගෙ කැමැත්තෙංම විල පිට දියබුං ගහන හැඩයි.
ඒත් සන්දර නං වෙච්චි මේ රන් කඩුක්කං පැළඳි ආඳා අරියදේව ගේ හීන අස්සට සෑහෙන කාලෙකට පස්සෙං පහු එක පාර රිංගපු එක ගැන උහුට තිබ්බෙම මොකක් දෝ අමුත්තක්. මීට කලිං සන්දර නම් මේකලා ගුරුන්නාන්සෙ ගෙ හීන අස්සෙ හක්කොලං කරේ හරියටම තුන් ගමනයි. ඒත් ඒ එක වතාවක වත් හොඳක් නොවුණු තැන උහු ගේ හිතට මේ ගැන අමුත්තක් දැනෙන එක පුදුමයකුත් නෙවෙයි නොවැ!
හීනේ ඇතුලෙං දැකපු දේට සම්පූර්ණයෙන් ප්‍රති විරුද්ධෙ විදිහට පේන කොස් කොළ නැට්ටත් වහං වෙන තරමට කලු කරගෙන වහින හද්ද අනෝරාව දිහා බලාගෙන හිටි අරියදේව අවසානෙට පුටුව පිටිං නැගිට ගත්තේ ත් ඒ හන්දා.
එහෙමම පැත්තෙං තිබුණ කවුලුව ළඟට ගිය අරියදේව බස්නාහිර ට හැරිලා දොහොත් මුදුන් තියලා වැන්දා. සියල්ල අත හැර දාලා සසරින් එතෙර වුණා වූ බුදුන්ට මේ වෙනුවෙන් පිහිට අත් දෙන්නට බැරි වග දන්නා හන්දා ම වැල්ල පිට වැඩ හිඳින දෙවොල් දෙවියන්ට උහු දෝත මුදුනේ වන්දනා කරමින් හිතින් කන්නලව් කරන්නට වුණා.
YOU ARE READING
කාල මේඝාම්බර
General Fictionඉදින් කාල මේඝාම්බර කියන්නෙ ම පාට පාට සැනසීමකට ආරම්භයක් ය.