ලා දුඹුරු පාට ඇස් දෙකක්..
එයාට තිබුණේ තලෙලු හමකුයි හැම වෙලේම ඇවිස්සිලා තිබුණ කැරලි කොන්ඩෙකුයි..
එයා හරියට ක්ලියෝපැට්‍රා වගේ..
ක්ලියෝපැට්‍රා ට තිබුනෙ දුඹුරු පාට බළල් ඇස් දෙකක්ද කියලවත්..තලෙලු හමක්ද කියලාවත් මම දන්නෙ නෑ..
ඒත් මට එයාව දකිද්දි මතක් වුණේ ක්ලියෝපැට්‍රා..
අහ්..එයා තව තද නිල් පාට ෆ්‍රේම් එකක් තියන.. එයාට පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නැති රවුම් කණ්ණාඩි දෙකක් දැම්මා..
එයා පන්තියේ ඉස්සරහම පේලියේ කොනේම මේසෙ ජනේලෙ ලඟ තමා ඉඳන් හිටියේ..
සමහර දවස් වලට එයා ඉඳන් හිටපු තැනට වැටුනේ තද අව්වක්..
ඒ වෙලාවට එයා කලේ එයාගේ කොළ පාට තීරු තීරු අලවපු නෝට් බුක් එක මූණෙ පැත්තක් වැහෙන්න අල්ලන් හිටපු එක.
මහ මෝඩයි..ජනේලෙ දැල් වලට කුඩයක් සෙට් කලා නම් ඉවරයි නේ..
නෝට් බුක් එක නුහුරට අල්ලන් ඉන්න එයාව දකින වෙලාවල මට හිතුණෙ එහෙම ..
_____
ෆිසික්ස් ගණන් හදන හැමවෙලේකම වගේ එයා කලේ එයාගේ කැරලි ගැහුණ කොණ්ඩ කෑල්ලක් ඇඟිල්ලෙන් අරන් කරකවන එක..
ඉතින් ඉස්කෝලෙ ඇරෙන වෙලාව වෙද්දි එයාගෙ කැරලි කොණ්ඩෙ තව චූටි චූටි කැරලි ගොඩක් හැදිලා තිබුණා
"ඔයාගෙ කොණ්ඩේ වැව්වොත් ලස්සනට තියෙයි..වවන්නකො"
ඒ එයාගෙ යාලුවා..
"බෑ"
එහෙම කියලා එයා කලේ ඔලුව පැත්තකට කරලා හිනාඋන එක..
දත් ටිකේ හැටි..
හිනාවෙද්දි ටිකක් ලේනෙකුත් වගේ..
_______
හැම සතියකටම එක පාරක් තිබුණා එයා මට එහා පැත්තෙන් ඉඳගන්න එන දවසක් ...
ඒ කෙමෙස්ට්‍රි ලැබ් එකේදි..
"පුදුම කචකචයක් නේ තියෙන්නේ..යන්න..අද ඉඳන් ඔයා රිශිනි ලඟින් ඉඳගන්න.."
ටීචර් එහෙම කියපු දවසෙ ඉඳන් එයා මං ගාව..
එදා එයා ගාවින් ආවේ රෝසමල් සුවඳක්..