මම බුදුන්ට මල් පූජා කර දොහොත් මුදුන් දී වැන්ඳෙමි.හිතේ දහසක් සුබ සිතිවිලි තෙරපෙන්නේ හිතට අමුතුම මිහිරක් එක් කරමින්ය.අද මා හට විශේෂ දිනයක් වන්නේ මාගේ උපන් දිනය බැවිනි.කාර්යාලයට යාමට වෙනදාට වඩා හදිස්සියක් මට දැනුනේ මතීශව දැක ගැනීමේ ආසාවක් හිතේ තෙරපුන නිසාය.
මතීශ මට මුලින්ම හමුවෙද්දී ඔහු තරම් සැහැල්ලුවෙන් දඩබ්බරකමින් ජීවිතේ ගත කරන කොල්ලෙකු මට මුණ නොගැසී ඇති තරම්ය.ඔහු හා මාගේ ආදර කතාව ආරම්භ වීමට ප්රධාන හේතුවත් අප දෙදෙනාගේ සමහර ගති පැවතුම් එක වගේ වීම නිසාය.කාර්යාලයේ කෙල්ලන් කොල්ලන්ට අපිව බයිට් කිරීමට ඒවා හොඳ තුරුම්පු විය.ඒ අවුරුදු එක හමාරකට ආසන්න කාලයේ සිට මා හට මවුපියන්ට පසු ආදරේ කලේ නම් කලේ මතීශයි.ඔහු ගැන ආදරෙන් හිත පිරෙද්දී සිනාවක් සමඟින් මම දෑස් විවර කළෙමි.
"අම්මේ...මං යනවා..."
මං දණ ගසා වඳිද්දී අම්මා බොඳ වූ දෑසින් මාගේ හිස සිම්බාය.ඒ ඇගේ හැටිය.මට මතක ඇති කාලේ පටන් මාගේ උපන් දිනයේදී ඇගේ දෑස කඳුලින් තෙත් වෙයි.
"මං යනවා තාත්තේ..."
ඔහු නම් සුපුරුදු කරුණාබර හිනාවෙන් මගෙ හිස අත ගෑවේය.කාර්යාලයට ගිය විගසම මම කලේ ඔහුව සොයා යෑමයි.මතීශ...ඔහු සුපුරුදු පරිදි මා එනතුරු මඟ බලා සිටියේය.
"හැපි බර්ත්ඩේ පණ.."
ඔහු මගේ නළලත ආදරෙන් සිප ගත්තේය.
"තැන්ක් යූ..."
මම එසේ පවසා ඔහු දෙස බැලුවෙමි.අප දෙදෙනාටම සිනහ නැඟුනේ එක්වරමයි.මා දෙසට නැමී මගේ කම්මුලක් සිප ගත් ඔහු කෙලිලොල් බැල්මක් මා වෙත හෙලුවේය.
"ඒ මෝඩයා....කවුරුහරි දැක්කොත් එහෙම..."
මම සිනාසී ඔහුගේ අතට පාරක් ගැසුවෙමි.
"කවුරු දැක්කත් මොකෝ...?මං ඉම්බේ කවදහරි මගෙ ගෑණි වෙන්න ඉන්න කෙනාවනෙ"
අනේ....ඒ වචන වලට මගෙ හිතම පිරී ගියේය.නගරයේ ධනවත් පවුලක එකම දරුවා වූ ඔහු මා වැනි දුප්පත්කමින් මිරිකී ගිය පවුලකින් සම්බන්ධයක් ඇති කර ගැනීම ඔහුට ගානක් උනේ නැත.කිසි දිනෙක සල්ලි බලේ නොපෙන්වූ ඔහු මා හට ආදරේ කරන්නේ සංසාරෙ පුරා සොයා ආ කෙනෙකු ලෙසකිනි.