වැස්ස.......
මොන වැස්ස ද මේ ගිනි මද්දහන අව්ව.....
මේ දවස්වල කෙනෙක්ගෙ අතේ වරදින්නෙ නැතුව තියන කුඩේ මගෙ අතෙත් අද පුරුදු විදිහට ම තිබුණා. බොරුවට අපිව තෙමන්න ම වහින වැස්සක් හිටපු ගමන් කඩන් වැටුණට නම් මේ රස්නෙන් බේරෙන්න පුලුවන් වුණේ නෑ.
එක අතකින් කුඩේ ඉහලගෙන අනිත් අතෙන් ලැප්ටොප් එක දැම්ම කලුපාට බෑග් එක එල්ලගෙන හිටිය මං සපත්තු අඩියට බර දෙන දීලා දෙපැත්තට වැනෙන්න ගත්තෙ පාරට බෙල්ල දික් කරලා බලන ගමන්...
වෙන මොකට ද ඉතින් බස් එකක් සැපත් වෙනකම් තමයි. බයික් එකක් තිබුණට ඒකේ ආවනම් එහෙම උදේ පාන්දර ඇවිත් මේ වෙලාවට යද්දි පාණ්ඩුකම්බල සෛලාසනේ වගේ රත් වෙලා තිබුණ ම පස්ස පැත්තට සක්‍ර දෙයියන්ගෙ ම පිහිටයි ඉතින්. ඊට හොඳයි බස් එකේ ම යන එක.
බලන් ඉඳලා ඉඳලා මදිවට අව්වෙත් කර වෙච්ච නිසා උගුර වේලිලා ගිහින් තියෙද්දි ඉක්මනට බෑග් එක අවුස්සල වතුර බෝතලේ අතට අරගෙන මූඩිය ඇරියා විතරයි, අතට ගත්ත එක කටට දාගන්න පින නෑ කිව්ව වගේ වංගුවෙන් මෙහෙට හැරෙව්ව අම්පාර කොළඹ බස් එක පිඹගෙන ඇවිත් නතර කලේ තාර පාරෙ තිබුණ දූවිලිත් අවුස්සන ගමන්.
ආහ්හ්....... අද ඉතින් දවල් වවුලා වගේ අර පොල්ලෙ එල්ලිලා යන්න තමා වෙන්නෙ. බෑග් එකවත් දෙන්න කෙනෙක් හිටියොත් හොඳයි......
සෙනඟ අස්සෙ චප්ප වෙලා කොහොම හරි බස් එකට නැඟගත්ත මම ඉස්කෝලෙ ළමයි අස්සෙන් ගිහින් බස් එකේ මැද හරියට ආවේ දෙපැත්තෙ දොර දෙකේ හැම එකාම හෝල්ට් එක මඟෑරෙයි කියලා බහින්න බලාගෙන එකතු වෙලා ඉන්න නිසා. වෙනදට මාත් එහෙම තමා. ඒත් අද මං ගෙදර යන දවස. ඒ නිසා බහින්න හදිස්සියක් නෑ.
අම්පාරට මාරුවක් ලැබිලා දැන් මාස පහකට කිට්ටු වෙන්න එනවා. ඉස්කෝලෙට ගොඩක් දුරින් බෝඩ් වෙලා ඉන්න නිසා එනකොට පාන්දර එන්නත් වෙනවා මදිවට ගෙදර යද්දි හතර විතර වෙනවා.
මං නතර වෙලා හිටියෙ කොල්ලෙක් ඉස්සරහා. ඒකගෙ අතේ බෑග් එකක් තියා මොකක්වත් නෑ හැබැයි ගඩොල් බාගයක් හැඩේ ඇපල් ගෙඩියක් නම් තියනව. නාසා එකේ රොකට් එකක් හදන්න ප්ලෑන ගහනවා වගේ මිනිහා ෆෝන් එකට බැහැගෙන කොටනවා කෙටිල්ලක්... උදැල්ලක් දීලා වෙලකට තල්ලු කරන්න හිතයි මේකව. පොඩ්ඩක් බලලා එක්කො මගෙ බෑග් එක ඉල්ලුවා නම් හෙන ගහනවද මේ ගිනි අවුවෙ. නෑනෙ... නෑනෙ........
CZYTASZ
N̶o̶t̶ ̶A̶n̶y̶m̶o̶r̶e̶ [ Non Ficton ]✎by-saaki
Fanfictionරැඳෙන්න කුමටද හේතුවක් !!! ප්රේමය කියන්නෙ ම අහේතුකව දැනුණ හැඟීමක්...