01

62 10 10
                                    


මගේ ගෙයි දොර ඉස්සරහ, පොඩි ඉස්තෝප්පු කෑල්ලෙ වැටිලා තිබුණෙ, තරුණ කොල්ලෙකුගෙ ලේ ගලන මිනියක්.

මං මිනිය දිහා බැලුවා, ඊට පස්සෙ ගෙයි ඉස්සරහ දිහා. ඒක හරි නිස්කලංක උදෑසනක්. පාරෙන් අනිත් පැත්තෙ තිබුණු අපාර්ට්මන්ට් එකේ කළු පාට දිග හෙවණැල්ල, මගේ පැත්තෙ පදික වේදිකාවට වැටිලා. වැටේ හිටවපු ට්‍රම්පට් වයින් මල් වැල් හුළඟට සර සර ගානවා, හරියට එයාලා මිනිස්සුන්ට තෝරා බේරගන්න බැරි භාෂාවකින් එකිනෙකාට කොඳුරනවා වගේ. කොහේ හරි ඈතින් මට ඇහෙනවා, දුර - ගමන් ට්‍රක් රථවල රෝද, තාර පාර හූරගෙන යන සද්දෙ. ඒ ඔක්කොම මැද්දෙ, මේ මගේ ගෙයි ඉස්සරහ, පඩිපෙළ මැද්දෙ මිනියක් තියෙනවා.

ඒ කොහොම වුණත්, අපේ ඇස්වලට නම්, මළමිනියක් කියන්නෙ ඕනම තැනකදි අද්භූත විදිහට කැපිලා පේන දෙයක්නෙ. ඒත් මෙතනදි, ඒක ඊට වෙනස්. මේ මළමිනියක් ඒ වටේ දර්ශන තලයත් එක්ක යස අගේට මුහු වුණා. ඒක මේ හැමදාම දකින, නිස්කලංක උදෑසනක දර්ශනෙත් එක්ක කිසි අමුත්තක් නැතිව අපූරුවට ගැළපුණේ, ඒ පරිසරේම කොටසක් වගේ.

ඒකට හේතුව මට තේරුම් ගියේ, ටික වෙලාවක් යද්දි. මිනියේ පපුව යන්තං උස් පහත් වෙනවා. මේ මැරිච්ච මිනිහෙක් නෙවෙයි. මේකා පණපිටින්. මම කොල්ලා දිහා බැලුවා. ඔලුවෙ ඉඳන් කකුල් දෙකටම කට්ට කළු පාටයි. උස කොලර් එකක් තියෙන කළු දිග කෝට් එක, කොටස් තුනේ කළු සූට් එක, කළු ටයි එක. කළු නැති දේකට කියලා තිබුණෙ බොත්තම් දාපු සුදු කමිසෙයි, ඔලුව වටේ ඔතපු බැන්ඩේජ් ටිකයි විතරයි. බැන්ඩේජ් එක නම් රතු පාටිනුයි සුදු පාටිනුයි පුල්ලි වැටිලා. මේ පාට ටික දැක්කම මට මතක් වුණේ, චීන ජනකතාවල එන, මූණට මුලිච්චි වෙන්න හොඳ නැති, කවුද මන්දා අසුබ කැරැට්ටු වගයක්. එයා වැටිලා ඉන්නෙ ඉස්තෝප්පු කෑල්ලට යන පඩිපෙළ මැද්දෙ. ඉරිතලපු කොන්ක්‍රීට් පඩිපෙළේ පහළ ඉඳන්ම තියෙන ලේ සලකුණු එක්ක බැලුවාම නම්, මෙයා බඩගාගෙන ඇවිත් තියෙන විත්තියක් තමයි පේන්නෙ.

ප්‍රශ්නයක්. දැන් මොකද්ද මං මේ වෙන්ඩ-මළමිනියට කරන්නෙ?

උත්තරේ බොහොම සරළයි. මං දැන් මගේ කකුලෙ ඇඟිලිවල කෙළවරෙන් යන්තං මූව අල්ලලා, ලාවට තල්ලුවක් දුන්නොත්, මූ රෝල් වෙලා ගිහින් බිමට වැටෙයි. අන්න එතකොට, එයා ඉන්නේ මගෙ ගෙදර සීමාවෙ නෙවෙයි. එයා ඉන්නෙ පොදු පාරක. නගර සභාවට අයිති බලප්‍රදේශෙක. නගර සභාවෙ බලප්‍රදේශයක් ඇතුළෙ විපතට පත් වුණු අය බේරගන්න ඕනෙ නගර සභාවෙන්ම තමයි. මං වගේ සාමාන්‍ය තැපැල්කාරයෙක් කරන්න ඕනෙ ගේ ඇතුලට ගිහින් උදේට කන එක.

THE DAY I PICKED UP DAZAI Where stories live. Discover now