ඒ දෙදහස් විසිනවය වර්ෂයයි. පාසල් උපදේශන කාමරය තවමත් වායු සමීකරණය කර නොතිබූ හෙයින් විදුලි පංකාවෙන් පිට වූ උණුසුම් වායු හමුවේ මා සාරි පොටින් පවන් සලාගන්නට වූයෙමි. මේ වේලාවේ ශිෂ්යාවන් කිසිවෙකුත් උපදේශනයට නොපැමිණි හෙයින් මට දැනුණේ දැඩි නිදහසකි. වේලාව දහවල් දොළහට ආසන්න වන විට අයිස් කෝපි කෝප්පයක් බීමේ අදහසින් මා පුටුවෙන් නැගී සිටියත් ඒ සමගින්ම පාහේ දොර විවර විය. ඇතුළට පැමිණියේ ශිෂ්යාවක නොව පාසලට පැමිණි පුහුණු ගුරුවරියකි.
"මම කෝපි එකක්.."
"මිස් දැනට කතා කරන්න පුළුවන්ද? මගේ මෙහේ පුහුණු කාලය අදින් ඉවරයි." තරුණ ගුරුවරිය අයැද සිටිද්දී මට ඇගේ ඉල්ලීම පසෙක ලෑමට නොහැකි විය. ඇගේ දෑස් දෙස එක එල්ලේ බලාගත නොහැකිව මා නැවතත් අසුනින් හිඳගනිද්දි ඇය ඔසරි පොට අතකින් ගුලි කරගෙන මා ඉදිරිපසින් හිඳගත්තාය.
"මම කියන්නද මගේ යාළුවට මිස්ට අයිස් කොෆී එකක් ගේන්න කියලා." ඇය මොහොතකට පසුව කණගාටුවෙන් මෙන් විමසා සිටියදී මම හිස වැනුවෙමි.
"කරදරයක් නැත්තම්.. මේ රස්නේ දරාගන්නත් බෑනේ."
ඇගේ දුරකථනය අතට ගත් තරුණ ගුරුවරිය ඇගේ මිතුරිය ආමන්ත්රණය කරද්දී මම ඇයව අධ්යනය කරන්නට වූයෙමි. කැරලි ගැසුණු හිසකෙස් විශාල ගෙඩියක් වන සේ හිස පසුපසට කර ගැටගසා තිබූ අතර සම තරමක් තද පැහැයට හැරී තිබුණේ අව් රශ්මිය නිසාවෙන් බව මා අනුමාන කළේ ඇගේ හැට්ට කර මදක් පහත් වූ විට ළැම පෙදෙස පැහැපත් බව දුටු විටයි. සැපීම නිසාවෙන් කැළැල් ඇති වූ දෙතොල් වල තවරා තිබූ තොල් ආලේපන මදක් වියැකී ගොස් තිබිණි.
අයිස් කෝපි කෝප්ප දෙකක් අප වෙත පැමිණි පසුව ඇය මා දෙස බලා සුසුමක් හෙළුවාය. "සමාවෙන්න මිස් මේ වෙලාවේ ආවට."
"ඒකට කමක් නෑ දරුවෝ. දැන් කියන්නකෝ මොකක්ද ප්රශ්නේ කියලා."
ඇය සිනහවක් පා මා දෙස බැලුවාය. "මට ප්රශ්නයක් නම් නෑ මිස්. ඒත් මට යන්න කලින් මේ මතක මෙහේ තියලා යන්න ඕන කියලා හිතුණා."
"ම්ම්?"
"මම ඉගෙන ගත්තේ මේ ඉස්කෝලේ. ඉතින් ඒ මතක අදින් මෙතන තියලා යන්න ඕන. තවත් ඒවා අස්සේ හිරවෙලා හිටියොත් මට අනාගතයක් නැති වෙයි කියලා මට බයයි."
කතාව දිගු වීමට යන බව දැනගත් මොහොතේදී මම අසුනේ පසුපසට හරිබරි ගැසී හිඳගත්තෙමි.
"මම මේ ඉස්කෝලේ ඉගෙන ගන්න එද්දි මෙහෙ උපදේශන ඒකකයක් තිබ්බේ නෑ. කොටින්ම කිව්වොත් මීඩියා රූම් එකක්.. ප්රිෆෙක්ට්ස් රූම් එකක් අඩුම තරමේ ස්පෝට්ස් කරන ළමයින්ට චේන්ජින් රූම් එකක්වත්!"
_____
2024. 07. 28
තේරසක
YOU ARE READING
තේරසක || Sinhala WlW
General Fictionකතුවරයෙක්ට ජීවිතයක් ඇඳුණහම අකුරු මැකිලා යනවා. ජීවිතේ බෙදාගන්න ලෝබ වෙන්න ගන්නවා. ඒත් ඒ ජීවිතේ නැතිවෙලා ගියහම ආයේ අකුරුවලට පණ එන්න ගන්නවා. අරණිට අකුරු ලියාගන්න බැරිවුණා ආදරේ කරන්න ගත්තහම, අරණි හිතුවා එයා ආදරේ කරන්න ගත්තු තැන හරි කියලා. ඒත් එයාට වැරදු...