අලංකාර ලෙස සරසා තිබූ ශාලාවේ මැද සිය දෑත දෙපා පමණක් නොව ගත ම සසල කරවමින් රඟන්නේ මුවෙකු ගේ බඳු වූ අවිහිංසක කාල වර්ණ දෑසක් හිමි තරුණයෙකි. ඒ තරංග නඟන චංචල මුහුද මෙන් වූ කාල වර්ණ දිගු කෙස් වැටිය අඩක් හිස මුදුනේ මිටි කර රඳවා තිබූ මයුර ශීර්ෂාභරණයේ වූ රත්රන් සහ මිණි කැට වලට ශාලා පියස්සෙන් පහළට එල්ලෙන සේ රඳවා තිබූ පොකුරු පහන් වල ආලෝකය වැටී දිස්නය දුන්නේ එවෙලෙහි ඒ ශාලාවෙන් පිටත වූ අහසට නැඟෙන තරු ද පරයමිනි.
ඒ කඩවසම් නමුදු ලාලිත්යවත් ගුණ දැරූ සිහින් ගත වටා දුහුල් සේද සලු දැවටී තිබුණි. නැටුමේ රිද්මයට පින් සිදු වන්නට ඒ වස්ත්ර දහදියෙන් තෙමී ගතටම ඇලීගෙන ය. ඒ නිසාම ඒ කඩවසම් ලාලිත්යයේ රේඛා පහන් වල කහ පැහැති මන්දාලෝකයෙන් ඔප වැටී තිබුණි.
"මා......... හෘදී පහන් නිවෙනා
චණ්ඩ නල හමාලා..............."මෙතෙක් වේලා දෘත ලයකට වැයුණු සන්තූර සරෝද මෘදංග වලට මඳ ඉසිඹුවක් ලබා දෙමින් තරුණයා සිය අද්භූත ලෙස මිහිරි කට හඬින් ගැයීම ඇරඹුවේ ය. මෙතෙක් වේලා අවකාශයේ ඒ මේ අත සැරූ ඒ සිහින් දෑත ද නිසල වී තිබුණි. ශාලාව දරා හුන් පොළවට රිදව රිදවා බරට තැබූ පාද ද නිසොල්මනේ ය. ඒ අඩ ලෙස භූමිය දෙස බලා ගත් වතින් තරුණයා ගයයි.
ශාලාවේ පසෙක අසුන් ගෙන හුන් ඔහු ඒ හමුවේ තරුණයාගේ පය පාමුලට විසි කළේ දහසින් බැඳි පියල්ලකි. ඒ කහවණු බිම දිගේ ඇදී විත් තරුණයා ගේ පයේ ගැටුණි. හේ වේදනා භාරිත දෑසින් තමා වෙත කහවණු විසි කළ ඔහු දෙස බැලුවේ ය.
ඒ මුහුණ මත පෙරදා ඔහු වෙනුවෙන් වූ සෙනෙහසේ සේයාවක් දකින්නට නැති ය. ඉදින් තරුණයා මෙතෙක් වේලා සිය ගෙල වට දවටා ගෙන හුන් දැසඳුල් මාලය සුරතින් ඇද කඩා දැමුවේ ය. ඒ තවමත් සුරතේ තබාගෙන ඔහු යළිත් සිය ගැයුම ප්රතිරාව කරන්නට විය.
"මා......... හෘදී පහන් නිවෙනා
චණ්ඩ නල හමාලා..............."ඒ හමුවේ නම් තරුණයාගේ දෑස නවාතැන් ගෙන තිබූ වත මත සිනහවක සේයාවක් නැඟී තිබුණි. නමුත් ඒ හරිත දෑස වෙනදා මෙන් තමා මත නොවුණු වග ද ඔහු දුටුවේ ය. ඒ හරිත දෑස නැවතී තිබුණේ ඒ තැනැත්තා අසල ධවල සිනිඳු සලුවෙන් සැරසී කණක අබරණින් වැසී කෝළ ලෙස සිනාසෙන ඇය මත ය. නුරාධ ඇගේ ගෙල වට ද වූ දැසඳුල් මාලය දෑඟිල්ලෙන් සොලවමින් ඇයව සුරතල් කරයි.
YOU ARE READING
ලාස්ය
Historical Fictionසම්පූර්ණයෙන් පළ කර ඇත ✔ ලාස්ය භවනේ මණිධාර ගේ ප්රේමය මෙලෙස ය.