හූ... හූ... හොචොක් ... හොචොක්...
හූ... හූ...අතෝරක් නැති මේ හූ ව ඈත තියාම ඇහෙද්දි මිනිස්සු සූ සු ගාලා එක් රොක් උනේ මීදුම් පටලත් ඉරාගෙන ඈත එන බදුලු කුමාරියට ගොඩ වෙන්නයි . ඈත කෝච්චියෙ ලයිට් එලිය කෝච්චි පාරම එලි කරගෙන එද්දි , මගේ අතක තිබ්බ බෑග් එක මගෙ අතට තවත් ගුලි උනා.
මම මේ බර බෑග් දෙකක් උස්සන් හතර ගාතෙ නැවිලා ඉන්නෙ අවුරුදු ගානකින් ගියෙ නැති ගම්පලාත පොඩ්ඩක් බලලා එන්න.
මගෙ ගමට යන්නෙ උනත් මට දැනෙන්නෙම මම අලුත් කොහේ හරි තැනකට යනවා වගේ nervous ගතියක් . මම දැනටමත් එහෙට ආගන්තුකයෙක් !
ඒත් අර හෙල්මැලි කපපු කඳු යායට මාව තාම පුරුදුකාරියක් කියන්න මගෙ හිතේ කිසිම සැකයක් නෑ. ඒ හෙල්මැලි වල තාමත් මගෙ පා අඩි මැකිලා නැතුව ඇති. තව නිතර ආගිය පුංචි කරදරකාරයො උන හාවොන්ටත් මාව තාම මතක ඇති. මම උන්නෙ නැත්තම් උන්ට තාමත් ඔය කැරට් කන්නයි තක්කලි කන්නයි හම්බෙන්නෙ නෑ.මම ගමේ සිතුවිල්ලෙන්ම කෝච්චියට අඩිය තිබ්බා. මිනිස්සු වැඩිය නැති පෙට්ටියක් ඒක. ඒ හින්දම හිතූ හිතූ තැන් වල ඉදගන්න ඕන තරම් ඉඩ තිබ්බා. මගේම වාසනාවකට ජනේලේ ගාවක තිබ්බ හිස් සීට් එක දකින්න මට වැඩි වෙලාවක් ගියේ නෑ. බෑග් බරත් අමතක කරගෙන විදගෙන එතනට ගිහින් ඉදගත්තම දැනෙන්නෙ සිංහාසනේ වාඩි උනා වගේ චිල් එකක්.
මගෙ බෑග් බරෙන් නිදහස් වෙන්නම මම උඩ රැක් එක දිහා බැලුවා. ඒකත් පිරිලා !
දැන් මේ අටමගල දෙක ඔලුව උඩ තමා තියාගන්න වෙන්නෙ . මම ටිකකට නැගිටලා බැලුවේ පොඩි අස්සක් වත් රැක් එකේ නැද්ද කියලා බලාගන්න. ශිට් !
අඩුම ඒ රැක් එකේ ඇඟිල්ලක්වත් ඔබාගන්න බෑ. ඔක්කොමත් හරි... මේ මගුලට තමා ඉඩක් නැත්තෙ. අනික මේ දෙකම නිකන් පෝර උර වගේ හෙන තඩියිනෙ.
එකක් ඔඩොක්කුවෙ තියාගෙන අනික් එක පාමුල තියාගෙනයි ඉන්න වෙන්නෙ. මම කොහොම හරි හිත හදාගෙන ඉදගත්තෙ හිතපු විදියටම බෑග් දෙක තියාගන්න.මම ඉදගෙන බෑග් එකක් ඔඩොක්කුවෙ තියාගත්තම මට මෙලෝ මලදානයක් පේන්නෙ නෑ ඒකත් එක්ක. මේක නම් පෝර උරයක්ම තමා.
කේන්තියෙන් මම බෑග් එකටත් ගහගෙනම ඒක අස්සෙ මූන ඔබාගත්තා. වෙන මොනා කියලා කරන්නද !? අනේ මට උදව්කරන්නකත් මොකෙක්වත් නෑනෙ...