මතක තියාගන්න පින්තූරයක් ගන්න...
අලුත් මාසයක් පටන් ගද්දිම දුක හිතෙන ඒ එක්ක සතුටකුත් නොවන හැබැයි සැනසීමක් දැනුන ආරංචියක් ආවා.
" කිරි අම්මා නැති උනා "
කිරි අම්මා කියන්නේ මගේ ජිවිතේ හරි ලස්සන මතකයක් එකතු කරපු කෙනෙක්. මට කිරි අම්මලා හරි ගොඩක් ඉන්නවා. මගේම කිරි අම්මාට නන්ගිලා හත් දෙනෙක් ඉන්නවා. ඉතින් එක එක ආදරණීය නම් වලින් කතා කරන්න මට කිරි අම්මලා හෙන ගොඩක් ඉන්නවා.
මගේම කිරි අම්මාට ( අම්මාගේ අම්මා ) මන් කිරි අම්මා ඇරෙන්න තව නම් ගොඩකින් කතා කරා. කිරි අම්මා, මීරි කිරි අම්මා, කිරියා, මීරියෝ, කිරියෝ, කිරි අම්මෝ,.සුදු නෝනෝ......
යුද්ධ කාලේ අම්මලා මාව වව්නියාවේ තියන් ඉද්ධි එහෙට බෝම්බ ගහලා, ඒක ආරංචි උන ගමන් කිරි අම්මා පහුවදාම ඇවිත් අම්මලාට ඕනේ එකක් කර ගන්න කියලා මාව අරන් ඇවිත්. අපි දෙන්නාම එකම ස්කෝලේ එකම හවුස් එකේ නිසා ස්පෝර්ට්මීට් කාලෙට හවුස් එකේ විස්තර කතා කරනවා, ඒ කාලේ කතා කියනවා, කොටින්ම අම්මලා එන්නෙ නැති උනාම මගේ ස්පෝර්ට්මීට් වලට පේරන්ස්මීටින් වලට පවා කිරියා ආවා
දුකක් නෑ කියන්න බෑ මොකද කිරි අම්මා කියන්නෙ මාව පොඩි කාලේ හදපු මගේ අම්මා හැබැයි තව තව දුක් විදින්නේ නැතුව කිරි අම්මා ගිය එකට මට සතුටුයි. එයා ආයේ දුක් විදින්න ඕනේ නෑනේ. මිනිබිරියක් විදිහට මන් යුතුකම් කරා. කිරි අම්මාට කන්න මන්ම උයලා දුන්නා. එයාගේ රෙදි හෝදලා දීලා තියෙනවා. නාවලා කරලා නියපොතු පවා කපලා තියෙනවා. ලෙඩ වෙලා ඉන්න් කාලේ කතා කර කර ඉදලා තියෙනවා.
ඒ උනාට එක පසුතැවීමක් තියෙනවා.....
මට නොතේරෙන අත දරුවා කාලේ කිරි අම්ම එක්ක ගත්ත ෆොටො එකක් ඇරෙන්න එයා එක්ක මන් කවදාවත් තනියෙන් ෆොටෝ එකක් අරන් නෑ. ඉස්සර නම් ෆෝන් එකක් තිබ්බේ නෑ කීවැකි. ඒත් ෆෝන් එකක් තිබ්බාට පස්සෙවත් මට එයා එක්ක එක ෆොටෝ එකක් ගහන්න බැරි උනා...
කවදාවත් ෆොටෝ එකක් ගන්න අමතක කරන්න එපා. මතක තියාගන්න පින්තූරයක් ගන්න
ඔයාට නිවන් සුව මගේ කිරියෝ. ආයේ කවදාවත් මේ වගේ ඉපදෙන්නේ නැතුව හොද තැනක ඉපදෙන්න. මල්කි ඔයාට ගොඩක් ආදරෙයි කිරි අම්මේ ️