පළමු දිගහැරුම

1.1K 111 10
                                    

සමස්ත නිරාත්‍රී නගරයම අන්ධකාරවූත් පළිගැනීමේ චේතනාවෙන් යුතුවූත් ආත්මයන්ගෙන් වෙළී පැවතුණි. මා සිටි ස්ථානයට පහළින් වූ භූමියෙහි නෙක වර්ණැති වස්ත්‍රවලින් සැරසුණු විවිධ නිකායන් සහ වංශයන්ට අයත්වූ බොහෝ දෙනා එම අඳුරු ආත්මයන් සහ එහිවූ ඇවිදින මළසිරුරු සමග සටන් වදිමින් සිටියහ.

“වෙයි වූෂියෑන්..... අපි ඔබව මරා දමනවා!” අයෙක් කෑගැසුවේ ය.

ඔබ කුමක් කියා මරා දමන්න ද? මේ වන විටත් මා හට ජීවත්වීමට හේතු රහිතව ඇත. සියපත් මණ්ඩපය මාගේ දෑස් ඉදිරිපිටම විනාශ කොට දැමුණි. අප නැවත එය පිහිටවූව ද මා කුඩා කල සිට ආදරයෙන් රැක බලා ගත් ෆෙන්ග්මියන් මාමණ්ඩිය මෙන්ම යූ ආර්යාව ද මේ වන විට මොලොව හැර ගොසිනි. මාගේ දෙවැනි කුටුම්භය බඳු වූ වෙන් වංශයේ පිරිස.... වෙන් චින්ග්ගේ ඖෂධ සුගන්ධය, වෙන් නින්ග්ගේ නිහඬ සිනහව, ආ යුවාන්ගේ ආදරණීය ඇමතුම්, ඔවුන්ගේ සිනාහඬ පිරි ඇමතුම් මට සිහිවිය..... ජින් ගුවන්ශාන්ගේ කෲර හස්තයෙන් ඝාතනය කොට අවසන් ය. එපමණක් නොව මාගේ ආදරණීය ජ්‍යෙෂ්ඨ සොහොයුරිය ද මා හේතුවෙන් ම මා අබියසදී ම මරුතුරුලට ගොස් ඇත. සියල්ලට ම වඩා මාගේ කුඩා සුරතල් මලයණ්ඩිය ජියැන්ග් චෙන්ග්ගේ කඳුළු සහ වෛරය පිරි දෑස් මා තවත් අසරණභාවයට පත් කර තිබුණි. ඉතින් මා තවත් කෙ‌සේ ජීවත් වන්න ද?

ඈතින් සුපුරුදු ශ්වේත පැහැ රුවක් අන්‍යයන් හා සටන් වදිමින් සිටිනු පෙනිණි. “ලන් චන්..... ‍” මම වේදනාවෙන් මිමිණුවෙමි.
'ඔබ පැවසූ මාර්ගයේ ගමන් නොකළාට සමාවෙන්න, ලන් චන්. මට ඒ දෙයට හැකියාවක් තිබුණේ නැහැ. මා සතුව ඊට අවශ්‍ය හැකියාව නොමැතිව මා ඒ මග කෙසේ ගමන් කරන්න ද? මා කෙසේ අසිපත් ශිල්පය සිදු කරන්න ද? මා කුඩා කලදී ‘සුයිබියන්’ අත දරා ගත් දින කිසි විට එය අත්නොහරින බවට ප්‍රතිඥා දුන් නමුත් එය දැරීමට මා සතුව හැකියාවක් නොමැතිව මා කෙසේ එය දරා ගන්න ද? මගේ ආත්මය අපිරිසිදු වූයේ මීට බොහෝ කලක පෙර. මට සමාවෙන්න, ඔබේ පසෙකින් රැඳෙමින් තව දුරටත් ඔබේ ජීවිතය විනාශ කරලන්නට මා හට ඇවැසිතාවයක් නැහැ. මා ගිය පසු ඔබ යහපත්ව හිඳීවි.' මම සිතුවෙමි.

සටන් වදිමින් සිටි පිරිස දෙසට හැරුණු මම, “ඔබට අවශ්‍ය මේකනේ. එහෙනම් ඔබේ හැකියාවෙන් අරගන්න.”යි පවසා මා අත වූ යින් ව්‍යාල කවචය ඔවුන් වෙත විසි කළෙමි. ඒ බව දුටු ඔවුන් සටන් නවතා දමා සිය සම්පූර්ණ අවධානය යින් ව්‍යාල කවචය වෙත යොමු කළහ. අවකාශයේ වූ ව්‍යාල කවචය අවට විසිරී තිබූ අන්ධකාර ආත්මයන් අවශෝෂණය කර ගන්නා ලද අතර නිරාත්‍රී නගරය තුළ පැතිරී පැවති අන්ධකාරය ක්‍රමයෙන් පහව යන්නට විය. ක්ෂණයකින් ව්‍යාල කවචය කුඩා කැබලිවලට කැඩී විසිරුනු නමුත් ඔවුහු එය අල්ලා ගැනීමට වෑයම් කළහ. පිරිස අතර වූ යමෙක් එය අල්ලාගෙන ඉහළට ඔසවා තම ජයග්‍රහණය පිළිබඳ කෑගැසූවේ ය. නමුත් ඔහු පිටුපසින් ආ තවත් අයෙක් එම තැනැත්තාට සිය අසිපතෙන් ඇන ඔහු මරා දැමුවේ සිතා ගැනීමටවත් කාලයක් ලබා නොදෙමිනි. ඒ ඇනුම සිදු කළ පුද්ගලයා පහත්ව ව්‍යාල කවචය ඇහිඳ ගැනීමට තැත් කළ ද එම වෑයම සාර්ථක නොවූයේ ඔහුගේ අත සිදුරු වන සේ ඔහු ඉදිරියට දිව ආ අයෙකු විසින් ප්‍රහාරයක් එල්ල කරන ලද නිසාවෙනි. ඔහු සිය අත අල්ලා ගෙන වේදනාවෙන් බිම පෙරළුණු අතර ඔහුගේ ප්‍රතිවාදියා කවචය ඇහිඳ ගෙන අනෙක් පසට හැරීමට ද පෙර ඔහු ද මරු තුරුලට ගමන් කළේ ඒ පුද්ගලයා වෙත වේගයෙන් පියඹා ආ හී සරයකට නතුවීමෙනි. මොහොතකින් හීසරය එල්ල කළ පුද්ගලයා ඒ වෙත දිව එත්ම ඔහු හා දිව එමින් සිටි අයෙකුගේ අසිපත් පහරකින් බිම ඇද වැටුණේ ය.

මෙයාකාරී ලෙස නොවනවතිමින් ගලා ගිය කවචයට ලෝභයෙන් වූ ක්‍රියාදාමය දෙස බලා සිටි මා හට උමතු සිනාහඬක් ඇසුණි.

ඔහු (Completed)Where stories live. Discover now