එදාත් සිකුරාදා දවසක්... උදේම එයාට කියනවා කියලා හිතුවට පෑන මගෙන් ඉල්ලගෙන යනකනුත් මට වචනයක් කියන්න බැරි වෙනකොට මම හිතාගත්තා හවසට අනිවාර්යයෙන්ම කියනවා කියලා.... විනාඩි පැය ගෙවිලා හවස් වෙනකොට එයාට කලින් මම එයාගේ ක්ලාස් රූම් එක ඉස්සරහ හිටගෙන හිටියේ එයාට දෙන්න ගත්ත කාර්ඩ් එකත් අතේ තියාගෙනම.... ඒත් එතන වැඩ සිද්ද වුනේ මම හිතාගෙන හිටිය විදිහට නෙමෙයි......
මම එයා එනකන් හිටගෙන ඉන්නකොට මං ලගට ආවේ මම සැරෙන් සැරේ රිජෙක්ට් කලත් මගේ පස්සෙන්ම එන එයාගේ ක්ලාස් එකේම හිටිය කෙල්ලෙක්... මම මොනාද වෙන්නේ කියලා හිතන්නවත් කලින් ඒ කෙල්ල හැමෝගේම ඉස්සරහ රෝස මලක් දීලා මට ' I Love you ' කියනකොට වටේම හිටපු අයත් කෑගහලා චියර් කරන්න ගත්තේ ඒ කෙල්ලට කැමැත්ත දෙන්න කියලා.... එතන වුන නරකම දේ ඒක නෙමෙයි... ඒ කෙල්ල රෝස මල මට දික් කරන් ඉන්නකොට වටේම ළමයි කෑගහනකොට එතනට ආව මගේ අහිංසකයා මං දිහා බලන් හිටියේ තෝරගන්න බැරි හැගීම් ගොඩකින් ....
ඒ කෙල්ලව පැත්තකට තල්ලුකරලා එයා ගාවට යන්න කලින්ම මගේ අහිංසකයා එතනින් දුවලා ගියේ වෙනදට නොවරදවාම මට ආපහු දෙන මගේ පෑනත් අරගෙනමයි....
එයා මාව මුලින්ම හොයන් ආවේ සිකුරාදා දවසක වගේම එයා මාව දාලා ගියෙත් සිකුරාදා දවසකමයි.... ඒ සිකුරාදායින් පස්සේ එයා ඉස්කෝලේ ආවේම නැහැ.... නිශ්ශබ්ද ළමයෙක් වුන එයා ආවේ නැති එක අනිත් ළමයින්ට එච්චරම නොදැනුනාට මම හිටියේ පිස්සෙක් වගේ...මගේ හිත කිව්වේම එයා ඉස්කෝලේ නොයෙන්න හේතුව එදා වුන සිද්දිය කියල... උදේම එන්නේ එයාව බලන්න වෙනකොට , එයා හින්දාම මියුසික් රූම් එක රැකලා ඉන්න පුරුදු වුන මම , ස්පෝට්ස් කරලා ඉවර වෙලා එයාගේ බෝතලෙන් වතුර බොන්න පුරුදු වුන මම , ලයිබ්රි එකට ගිහින් එයා දිහා හොරෙන් බලන් ඉන්න මම , එයා වෙනුවෙන්ම අලුත් පෑන් අරගෙන එන මම හැමදේම එයා වෙනුවෙන්ම කරලත් අන්තිමට එයා ඉස්කෝලේ නාවම මම කොහොම ඉන්නද.... දහස් ගානක් මුහුනු අතරේ මම හෙව්වෙම එයාගේ රූපේ වුනාට එයා නෙමෙයි මාව බලන්න ආවේ....
ෆයිනල් එක්සෑම් එකට නිවාඩු දෙන අන්තිම දවසෙත් මම ඉස්කෝලේ ගියේ කිසිම හැගීමක් නැතුව.... ඒත් අන්තිම දවසේදිවත් එක තප්පරේකට හරි දකින්න පෙරුම්පුරපු ඇස් දෙක උදේම මාව හොයන් එනවා දැක්කම ඇත්තමයි ඒ මාසේටම නොදැනුන සැනසීමක් මගේ හිතට දැනුනා...