~01

687 81 5
                                    

'නවත්තපන් යකෝ..ඔහොම බලන්න එපා ! දෙයියනේ මේ ඇස් දෙක.. ඔය දිහා බලන්න එපා.අන්තිමට වෙන්නේ උඹට රිදෙන එක විතරයි!!'

කොච්චර කියලා මම මගහරින්න ද? ඇයි ඒ?

අපි හිටියේ පෝලිමේ. මේක තෙල් පෝලිමවත් ගෑස් පෝලිමවත් නෙවෙයි assembly එකේ පෝලිම. කියලා වැඩක් නෑ මම එයාගේ ඉස්සරහින්.

උදේ 6ට නැගිටලා වෙනදා වගේම මම ඉස්කෝලෙට එනකොට 6.45 යි. වෙනදාට මෙච්චර උදෙන් එන්න හේතුවක් නැතත් මාස හතරක ඉදන් මම මේ වගේ උදේම එන්න පුරුදු වෙලා හිටියා. පඩිපෙල් පනස් ගානම නැගලා හති ඇර ඇර මම පන්තිය එනකොටත් මම දැක්කේ එයාගේ තැන බෑග් එක තියෙනවා.

එයා ඇවිත්!!

හැමදාම වගේ එයා ආවා කියන පණිවිඩය මොලේට වැටුනම මගේ හිත තමයි වැඩිපුරම සතුටු උනේ. බෑග් එක මගේ තැනින් තියලා මම කර්ට්න් අරින්න පටන් ගත්තා.

"ගුඩ් මෝනින් "

සාමාන්‍යයෙන් කෙල්ලෙක්ට ඒ වගේ කටහඩක් කොහෙත්ම ගැලපෙන්නේ නෑ. මම ඒක කොච්චර මේ හිතට තේරුම් කරන්න උත්සාහ කරත් එයා කිව්වෙ  මම අහලා තියෙන ලස්සනම කටහඩ මේක කියලා.

" ආ..ගුඩ් මෝනින් "

අපි කතා කළේ එච්චරයි. ඊයේ බිස්නස් ස්ටඩීස් වල ගෘප් වර්ක් එකට හදපු ඩෙස් එහෙම්මම තිබ්බ. මම ඇස් කොනට දැක්කේ එයා ඒවා හදනවා කියලා.

" ඔයා ඉකෝන් නෝට්ස් ලිව්වද?"

එයා ළගට ගිහින් පුටුවක් අදින්න හදනකොට එයා කතා කරන්න පටන් ගත්තා.

" ඔව්."

" මට ඔයාගේ පොත දෙන්නකෝ. මම කරේ නෑ. ඒක අමාරුයි ටිකක්"

මම හිනා උනා. වෙන අයට පොත බෑග් එකේ තියෙනවා ගනින් කියන මම , අද එයාට මගේ අතින්ම පොත දෙන්න ඕන කියලා හිතුවා.

" කොයි කොටසද අමාරු?"

" සැපයුම් න්‍යායයි ඉල්ලුම් න්‍යායයි සම්බන්ධීකරණය ප්‍රශ්නය. මුල පාඩම් නිසා කොහොමත් අමතක වෙනවානේ"

" ඔහ් ඒක අමාරු නෑ. ඉන්න මම කියලා දෙන්නම්"

මම එයාගේ අතින් පොත අරන් එයාට පාඩම කියලා දුන්නා. ආසයි මම ඒකට. ඒක හරියට එයා මාව අහගෙන ඉන්න , මාත් එක්ක ඉන්න ක්‍රමයක් කියලා හිතෙනවා මට. ඒත් ඇත්තටම ඇයි මම ආස එයා මෙහෙම ළං වෙලා ඉන්නවට?

" තේරුනාද?"

"ආහ් මේ.. ඔව්"

එයාට වචන පැටලුණා. ඒ ඇයි? කමක් නෑ සමහරවිට මම කියපු එක තේරුම් ගන්න බැරිවෙන්න ඇති. ඒත් බොරුවට තේරුනා කියලා කියන්න ඇති!

" ළමයි අද grade 12-13 assembly එක තියෙනවා. තව ළමයි ආවාම පෝලිමක් හැදිලා මේන් හෝල් එකට යන්න"

සෙක්ෂනල් හෙඩ් වසන්තා මැඩම් ඇවිත් කියද්දී අපි දෙන්නම හරි මැඩම් කියලා ආයෙමත් පුටු හදන්න පටන් ගත්තා.

අපි පන්තිය අතුගෑවා. එයා වේගෙන් අතුගාන නිසා මම පුළුවන් තරම් පුටු ඇදලා දුන්නා. එයා ලස්සනයි. කෙට්ටු ඇගකට දිග කොණ්ඩයක් වාව්.. කියලා වැඩක් නෑ. ඒකට මම ?

මගේ පුරුද්දක් තිබුනේ උරහිසෙන් අගල් දෙකක් තියාගෙන වැවෙන වැවෙන වාරයක් ගානේ කොණ්ඩේ කපන්න. අම්මා ටිකක් විතර විරුද්ධ උනත් මම හැමදාම ඒකට ආස කළා. උදේට නැගිටලා කොණ්ඩේ ගොතනකොට විදින දුක මම නංගිගෙන් දකිද්දී මට ඕන උනේ නෑ කොණ්ඩේ වවාගෙන ඉන්න. ඉතින් මම හැමදාම මට නැති එයාගේ දිග කොණ්ඩෙට ආස කළා.

" අනූ"

මම එකපාරටම හැරිලා බැලුවා. එයාව බදාගෙන හිටියේ එයාගේ හොදම යාළුවා. මට ඊර්ෂ්‍යායි. පිස්සු හැදිලා කියල හිතන්න එපා මම ආස නෑ කවුරුත් එයා එක්ක ඉන්නවාට. හොදම යාළුවා උනත් විහන්සා එයා එක්ක හැසිරුනේ කපල් එකක් වගේ. ඒත් අනුකිට දැනටමත් කොල්ලෙක් ඉන්නවා කියන කරුණ මට කොහොමද ලේසියෙන් අමතක උනේ?

හොදයි.. ඒක තමා මගේ දුර්වලතාවය
.

හැමදාම.. හැම මොහොතකම..මම බලාපොරොත්තු මවා ගත්තා..

ඒ බලාපොරොත්තු වීදුරුවක දාලා එකපාරක් බිම දැම්මම කුඩු වෙලා යනවා කියලා දැන දැනත් මට ඕන උනේ ඒවා හිත ඇතුලෙම තියා ගන්න. බලාපොරොත්තු බිදුනට ඒවා ගොඩනගාගන්න මට ඕන නෑ. සමහරවිට කවුද දන්නේ ඒවා ගොඩ නගද්දී අපි අතර බැදීම් නැති වෙලා ගියොත්?

අන්න ඒ නිසාමයි මම තේරුම් ගත්තේ සමාජයේ නීතිවලට පටහැනිව එයාට කරන මේ ආදරය දුර ඉදන් පරිස්සමින් බලාගන්න..

ඔව් ඒක තමා එදත් අදත් හැමදාමත් මම කළේ !!

I lost myself | GL ✓Where stories live. Discover now