සිත් සයුර ගැඹුරුද මෙතරම්

4 1 2
                                    

සර සර ගගා කරකැවෙමින් තිබූ පංකාව සෙමින් සෙමින් ක්ලීං ක්ලීං ගගා නවතින්නට විය. හිස් බැල්මෙන් එදෙස හිස ඔසවා බැලූ මා දොරින් පිටත බැලීමි. අවට නිවෙස් වලද තැනින් තැන වූ බල්බ නිවී ගොස් තිබූ නිසා විදුලි බලේ ඇනහිටීමක් ලෙස සනාථ කරගත් මා ඔහේ බලා සිටින්නට වීමි. පෙරහැරේ ආගමනය කියා පාමින් එන්නා කසකාරයකු සේ රාත්‍රියෙහි ඇරඹුම සමග ගොම්මන ද හාත්පසම වෙලාගනිමින් සිටින්නට විය.

කබඩයේ අත ලා සොයමින් සිටි ඉටිපන්දම ලැබුණ හෙයින් යළිත් සාලයට පැමිණ එය දල්වා මා හාන්සි වූයේ යම්කිසි ආකාරයක විවේකී හැඟීමකිනි. අඛණ්ඩව දිගු කාලයක් තිස්සේ අසන්නට වූ දකින්නට වූ පෙර නොවූ විරූ සහ වෙහෙසකාරී අත්දැකීම් නිසා චංචල වී තිබූ සිතට විරාමයක් මා වටා වෙලාගනිමින් තිබූ අදුර සහ නිහැඩියාව ඇරයුම් කළේය. මා හට ඇසෙන්නට වූයේ පෙර කී නිහැඩියාව පරයා නැගුණු මාගේ සන්සුන් ආශ්වාසය සහ ඉද හිට කනට නුදුරින් යන මදුරුවෙකුගෙ රූං හඩ පමනි. ඉටිපන්දම් දැල්ලේ වන්නම් නිසා සාලයේ බිත්ති මත ඇදෙන්නට වූ සෙවනැලි, රූකඩ නාට්‍ය යන්හි විකාර චරිත මෙන් විවිධ ආකාරයෙන් හාස්‍යජනක මෙන්ම භීතිජනක රූප මැවූ ආකාරය සැටියේ හරි බරි ගැසී හාන්සි වී නරඹමින් සිටි මා හට යමක් සිහියට නැඟෙන්නට විය.

ජීවිතයේ සුවිශේෂී අවස්ථා වලදී අපගේ පංච ඉන්ද්‍රියයන් එම අවස්ථාවන් ග්‍රහණය කර ගනු ලබන්නේ ඉතාමත් ඉහළිනි. පසු කලෙක එම පංච ඉන්ද්‍රියයන් හට ඒ හා සමාන සංවේදනයක් ලද විටෙකදී එම පෙර කී සුවිශේෂී අවස්ථාවන් සිහියට නැගෙන්නේ නිතැතිනි. ඉටි වල දහනයෙන් නැඟුණු ගන්ධය ද මා හට මාගේ කුඩා කාලයේ එක් දිනයක් සිහිකර වන්නට විය.

එය ද අද මෙන්ම විදුලිය කැපී ගොස් අඳුරේ මා ඉටි පන්දමක් දල්වා ගෙන එදෙස බලා සිටි ගොම්මනක් විය. එවිට දොළොස් වයසක් වූ නිසාවෙන්ම දීප්තියෙන් පිරි දෑසින් යුතුව මා ඉටිපන්දම් දැල්ල දෙස දෑස් අයාගෙන සිටියේ ඉමහත් කුතුහලයෙනි. නමුත් එයට වඩා ප්‍රීතිජනක වූයේ පිටත වූ වද මල් ගස අසල රවුම් ගසන්නට වූ කණාමැදිරියන් නිසාය. විටෙක දැල්වෙන විටෙක නිවෙන දීප්තිමත් කහ එළියක් තම සිරුරෙහි පිටුපස පෙදෙසෙහි දල්වාගෙන පියාඹන්න ට වූ මෙම කණාමැදිරියන් දෙඅතට හසුකරගැනීම මහත් සන්තෝසයක් ගෙන දෙන්නා වූ සෙල්ලමක් විය. එදිනද මා ලද අවස්ථාව මග හරින්නට ලෝභ වූයෙන් සෙමෙන් සෙමෙන් පිය මැන්නේ කණාමැදිරියකු දෙඅතට හසු කර ගන්නා වූ චේතනාවෙන් යුතුව ය.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 09, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

සිත් සයුර ගැඹුරුද මෙතරම්Where stories live. Discover now