🌼🌼🌼🌼🌼 පෙති ගෝමරී 🌼🌼🌼🌼🌼
🌼 පලවෙනි දිගහැරුම පිපෙන්නට අවසරයි. 🌼
" පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ... "අදත් උදෙන්ම මං පන්තියට එනකොටම ඇහුනේ අන්තිම පේලියේ ඉඳන් මං දිහා බලන් හිනාවෙවී සිංදු කියන හසිතයි , එයාගේ යාළුවෝ කට්ටියගෙයි සද්දේ. ඒත් ඉතින් මේ දේවල් මට අරුම පුදුමයක් නෙවෙයිනේ. හැමදාම මාව දකින ඕන වෙලාවක එයාලා කට්ටියගේම කටේ තියෙන්නේ ඔය සිංදුවම තමයි. ඒකම කියවලා කියවලා දැන් ඕක එයාලට හෝඩි පොත වගේ පාඩම් වෙලා. අනේ මට මොකෝ. ඔහොම බැරිනම් ඔලුවෙන් හරි හිටගෙන කියවපුදෙන්. මට ගානක් නෑ ඒ දේවල් දැන්.
හිනායන්න ආවත් තොල් දෙකත් එකට තද කරන් හිනාව නවත්තගෙන මගේ බෑග් එක ඩෙස් එක උඩින් තියලා අතේ තිබ්බ මානෙල් මල් මිටියත් අරගෙන පන්තියේ කෙලවරේ තිබම්බ බුදු මැදුර ගාවට ආවේ හිතේ තිබ්බ ජාති ඔක්කොම අමතක කරලා දාලා.
මල් වට්ටිය අරන් හීන් සීරුවේ කඩාගත්ත මානෙල් මල් දෙක තුනක් පරිස්සමට මල් වට්ටියෙන් අහුරලා පැන් ඉහලා ඉවරවෙලා , බුදු පහන හරිගස්සලා ඉතුරු අනිත් නිල් මානෙල් මල් ටික අතට ගත්තේ ඒ ටික අපේ ලැබ් එකේ තියෙන බුදු පහනට පූජා කරන්න ඕනි නිසා. මේ විදිහට උදේම බුදු පහන හැදුවම මට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්. ඒ සැහැල්ලුව විඳින්න මං හුඟක් ආසයි.
" ආව්. "
මල් ටික අරන් හැරෙනකොටම එහා ඉඳන් ආව මනීෂා එයාගේ අතේ තිබ්බ කොස්ස තල්ලු කරලා දැම්මේ මගේ දිහාවට . ඒකපාරටම ආපු කොහුමිට මගේ නලලේ වැදිලා වැටෙද්දි මං එක අතකින් නලල අල්ලගත්තේ . හරියට මගේ නලල පැලිලා වගේ උහුලන්න බැරි තරම් රිදෙනවා. ඇස් දෙකෙන් කඳුළු කැට කඩන් වැටෙද්දි මං හෙමිහිට නලල අතගාලා බැලුවේ. ඇඟිලිතුඩු ගෑවෙද්දිත් රිදෙනවා. ඒත් වාසනාවට වගේ තුවාල වෙලා නෑ. තව පොඩ්ඩෙන් මගේ මල් මිටියත් බිමට වැටෙනවා.
" ඒයි ගෝමරී . උදේ පාන්දර හොටු පෙර පෙර බලියන්නැතුව මේ ක්ලාස් එක අතුගාලා දානවා. ආපෝ මේ හෝන්තුව උදේ පාන්දර දැක්කමත් මූසලයි. " එහෙම කියපු මනීෂා අන්තිම පේලියේ ඉඳපු හසිත ගාවට ගියේ කිසි හිතක් පපුවක් නැති ගානට. "