ඒ ඇස් දෙක දැක්ක මුල් වතාවේ මට කොහෙත්ම මේ වගේ හැඟීමක් දැනිලා තිබුණේ නැහැ. ඝන ඇහිබැමි යටින් තිබුණු දිගු ඇසිපිය සහිත ඇස් අහසෙ තිබුණු පුංචි තාරුකා දෙකක් වගේ දිලිසෙනවා. ඒ ඉංගිරියා කළුම කළු පාටයි. හරිම ආදරණීයයි. ඇසිපිය ගහන දශමයක කාලපරාසය තුළ හදගැස්ම එකසිය ගානට වැඩි කරවන්න පුළුවන්. ඕනෑම හදවතක් මිලිතප්පරයක වේගයෙන් ආකර්ෂණය කරගන්න ඒ ඇස්වලට හැකියාව තිබුණා.
ඒත් ඒ ඇස් දිහාව බලන්න කලින් මගේ හිත ඇදලා ගත්ත වෙනත් දෙයක් තිබුණා.
ඒ හිනාව! හරි කෙළින් පිහිටපු සුදුම සුදු පාට දත් පේළියම පේන්න තද දුඹුරු පාට දෙතොල් අතරින් මැවුණු ලස්සන හිනාව.
මම ඒ වගේ හිනාවක් මීට කලින් දැකලා තිබුණේ නැහැ. කළු පාට බෝල ඇස් වලින් මැවුණු ඒ හිනාවත් ඒ දෙතොල් අතර තිබුණු හිනාවෙත් වෙනසක් දකිනතුරුම මට ඒ හිනාවේ පවා විශේෂත්වයක් දැනුණේ නැහැ.ඒ නිසා එක්තරා දවසක හැන්දෑවක එයාට අවුරුදු දොළහක් ලබපු උපන්දින සාදෙදි මට එයාව මුණගැහෙන්න පුළුවන් වුණා. කලින් දවසේ බුක්ෂොප් එකකට ගිහින් අර ගත්ත පුංචි ඩයරියත් පැක් කරගෙන එයා ඉස්සරහා ඉදන් මගේ අහිංසකම හිනාව මම මවාගත්තා.
" මේ ලෝකේ ලස්සනටම හිනාවෙන මිනිස්සු තමයි වැඩියෙන්ම දුක හංගන් හිනාවෙන මිනිස්සු "
මම එයාගෙ කනට කරලා හෙමිහිට මිමිණුවා. ඒ වෙලාවේ අර ලස්සන හිනාව සම්පූර්ණයෙන්ම එයාගෙන් මැකිලා ගියා.කළු පාට බෝල ඇස්වලින් තත්පර කීපයක් මා දිහා බලන් හිටියා. ඊළඟට පුංචි කවර් එක ඇතුළට අතදාලා කළු පාට ඩයරිය අතට ගත්තා.
විනාඩි භාගයක් විතර ඒ දිහා බලන් ඉඳලා,
" මම මේවයෙ ලියන්න දන්නෙ නැහැ "
අන්තිමට එයා කීවේ එහෙමයයි.
" ආ ඉතින් මං කියලා දෙන්නම්කෝ "
මම මැදින් පැනලා හරි හදිස්සියට කියා ගත්තා. ඒ වගේ කාලෙක , ඒ වගේ වෙලාවක මම මොනවද බලාපොරොත්තු වුණේ කියන එක මම දැනන් උන්නේ නැහැ. ඒ කාලයේදිත් අපි හැම හවස්වරුවකම වගේ තවත් කීප දෙනෙක් එක්ක තේ වතුවල ඇවිදින්න ගියා. නැත්නම් අපි මන්දාරම් වැස්සක ඇති වෙනකම් නැටුවා. අපි එකිනෙකා ගැන දැන හිටියේ නැහැ. අපිට එහෙම දේවල් ඕන වුණෙත් නැහැ . අපි සරලව ජීවිත ගෙවූ පුංචි ළමයි. අපි සරලව ඉන්න ආස කළා.