මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත වේ.
'තුන් වෙනි වේදිකාවට දැන් පැමීණී දුම්රිය බදුල්ල බලා පිටත් වේ! දුම්රිය නවත්වන්නේ..'
දැන් වෙලාව හරියටම අටයි. කොටුව ස්ටේෂන් එකේ තුන් වෙනි වේදිකාවේ ඉදන් අනිත් වේදිකා වලට මාරු වෙන්න තියෙන පාලම උඩ හිටගෙන අත් වැලට හේත්තුවක් දාන් මං බලන් හිටියේ මරදානේ ඉඳන් ආපු නයිට් මේල් එක ගානට වෙලාවටම ඇවිත් ප්ලැට්ෆෝම් එකේ ගහන ලස්සන.
ලස්සන? ඔව් ලස්සනයි.. කොල පාට M6 එන්ජිමක් සද්දෙට නලාව ගහන් ඇවිත් රතු පාට පෙට්ටි දොලහක් විතර එක පේලියට අරන් ඇවිත් ඇස් ඉස්සරහා ගානට නතර කරද්දි ඒක ලස්සන නැද්ද? හා?
මන්දා අනිත් අයට කොහොම වුනත් මට නම් ඒක ලස්සනයි!
"ඕයි මන්දාර! උබ මොනාද ඔතන පිළිමේ වගේ හිටන් කරන්නේ වරෙන් අන්න ට්‍රේන් එක ආවා!"
මං කියන්නම් ඒ සද්දෙට මෙතන එනවුන්ස් කරන මනුස්සයාගේ සද්දෙත් පරාදයි! හිතන්න අර ආපු කෝච්චියට නගින්න පොරකන සෙනග ගොඩෙන් බාගයක්ම දැන් මෙතන මන්දාර කියන්නේ කවුද කියලා හොයනවා!
නෑ නෑ හිතුවද මට ලැජ්ජ හිතුනා කියලා? ම්.. සාමාන්‍යයෙන් මං ලැජ්ජ නැතුව ඕනම දේකට මුහුණ දෙන්න පුරුදු වුන කෙනෙක් විදිහට මට ඕන දෙයක්! විශේෂයෙන්ම ඔය සද්දෙට! මෙච්චර කල් මට වෙච්ච දේවල් එක්ක බලද්දි මට ඔය හැකියාව නාවොත් තමයි පුදුම.. ඒ කොහොම වුනත් මේ සද්දේ නිසා වෙන ජල් බරි මං කැම්පස් යන කාලෙක ඉඳන්ම වුන එකෙන් ලැජ්ජ වෙලා වෙලා ඒක ඇගටම පත්තියම් වෙලා තියෙන එකෙන් දැන් නම් අවුලක් නෑ! කිසි අවුලක් නෑ මං කොල්ලට හොඳ හිනාවකුද් දාලා බිම තිබ්බ ට්‍රැවලින් බෑග් එකත් අතට අරන් පඩිපෙල බැහැන් ගියා.
"මොකද බං හදිස්සිය? උබේ සීට් එක නැති වෙන්නේ නෑ අපි සීට් කලින් බුක් කරලා තියෙන්නේ!"
ඒ චිරාත් මගේ යාලුවා! චිරාත් කිව්වට මූන විරාත් ගේ වගේ! හා හා ඒ කියලා මූට හරියට පිත්තක්වත් අතින් අල්ලන්න බෑ දන්නේ තේ දලු කඩන ගෑනු අස්සේ ගහින් ඇද කියන්න විතරයි!