අවිරාධ යනු සිනහව විරල අයෙකු නොවුණි. කාරණය අවිරාධ ගේ සිනහව ට ලැබෙන හේතුන් ය. අවිරාධ ට නිතර සිනාසීමට තරම් හේතු ලැබෙන දිවියක් උරුම නැති ය. ඉදින් අවිරාධ නිතරම වාගේ හිඳින්නේ බැරෑරුම් දැඩි අභිනයකින් විය. අවිරාධ සතු ඉහළ මට්ටමේ ක්ෂණික කෝපය ද ඒ තත්ත්වය තව තවත් ඔප් නංවා තිබුණි.
අවිරාධ සිනහව අතුරුදන් කර ගත් වතින්ම සිහිධුන් අසපුව මැදින් වැටී තිබූ තිරුවාණ ගල් ඇතිරුණ මාවත දිගට ඇවිද යන්නට විය. අසපුවේ සාමාන්‍ය සම්ප්‍රදාය අනුව නම් සුවිභාෂ වෛද්‍ය තුමන් හා පරිවාරයත් ඉහළ පෙළේ වෙදැදුරනුත් වෙසෙන්නේ කෞමදී අංගනය තුළ විය. නමුත් ප්‍රධානියා ගේ පුත්‍රයා වූ අවිරාධ සම්ප්‍රදාය අතික්‍රමණය කොට තිබුණි. හේ වාසය කළේ අසපුවේ වෙනත් අන්තයක වූ සිසුන් ගේ නේවාසිකාගාර වලය. ඉහළ පෙළ මාන්නක්කාර කුලීන වෙදැදුරන් පිරුණු කෞමදී අංගනයට වඩා කිසිවෙකුත් අතර වෙනසක් නැතිව එකා මෙන් හිඳින වෙද සිසුන් ගෙන් පිරී ගත් නිරන්තරයෙන් කළ්‍යාණ කුසුම් ගැවසී ගත් කළණිය අරණ අවිරාධ ට සැනසිලි දායක විය. අවිරාධ ගේ ම මඟ අනුගමනය කරන විනූර්ධ ද සිය හිසට පියස්ස කරගෙන තිබුණේ කළණිය අරණ විය.
අවිරාධ ට සිය හිස පුපුරා යන තරමේ වේදනාවක් දැනෙයි. නමුත් තමා නිරත වන රැකියාව තමාගේ ගතෙහි හෝ සිතෙහි වේදනාවන්ට ඉඩක් නොදෙන එකක් විය. ඉදින් හේ හිස සෙමින් පිරිමදිමින් ම කණිකාර අරණේ එක් කෙළවරක වූ සිය කුටිය වෙත ඇතුලු විය.
අවිරාධ සිය උඩුකය වසා ගත් වස්ත්‍රය පමණක් ගලවා අසුන මත දමා සයනය මත වැතිරුණි. ඒ තද කලු දෑස පියස්සේ ලී මත කැටයම් කපා තිබූ ලියවැල් මෝස්තරය දෙස බලා හුන්නේ ය. අවිරාධ ට නිදහසක් නැතදු නිදහසේ කල්පනා කිරීමට බොහෝ දේවල් විය.
“රරර රා රරර රා……!”
ඈතින් ඇසෙන බුරන්නාක් වැනි ගායනය අවිරාධ ගේ නිදහසක් නොවන නිදහසට බාධා කරන්න ට විය. කළණිය අරණේ අනෙක් අන්තයට වී සිසුන් ගී ගයන සෙයකි. දවසේ වෙහෙස නිවා ගැනීමට සිසුන් මෙලෙස ගී ගැයුවාට අවිරාධ ට කම් නැත්තේ ය. අවිරාධ නුරුස්නා එකම දෙය එයින් සිය නිදහසට හිටි ගමනකදී වන බාධාව විය.
YOU ARE READING
අවිරාධ (OnHold)
Historische Romaneඅවිරාධ අවිරාධිත වගකීම කිසිවෙකුත් වටහා නොගනු ඇත Historical BL Medical Romance අතීත හෙළ වෙදකම ඇසුරු කොටගෙන ලියවෙන සමරිසි පිරිමි චරිත ඇතුළත් කතාවකි. අවිරාධ සිහිධුන් අසපුවේ ප්‍රධානි සුවිභාෂ වෛද්‍ය තුමන් ගේ පළමු විවාහයේ එකම දරුවා රත්නද්වීපය පුරාම ශල්...