විශ්වය තුළ ජීවයේ ගිනිසිළු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ඇතැයි සිතමු. ඒ හැම ගිනිසිළුවකට ම දැල්වී පවතින්න විශ්වය විසින් කුමන හෝ වාසස්ථානයක් ද සපයා ඇතැයි සිතමු.
ඒ සියලුම වාසස්ථාන අතුරින් මනස්කාන්ත ම ස්ථානය පෘථිවිය කියා ඔහු තරයේ විශ්වාස කළා. විශ්වයේ සිටින වෙනත් ජීවියෙක් කවදා හෝ මේ ජීවය පිරී ඉතිරෙන නීල ග්‍රහයා දුටුවහොත්, එහි වසන සියළු ප්‍රාණින් කෙරෙහි ඔවුන් බලවත් ඊර්ෂ්‍යාවක් උපදවා ගනීවි යැයි ඔහු අනුමාන කළා.
තමන්ට මැවුම්කරුවෙක් සිටීයැ යි පෘථිවියේ වෙසෙන ඇතැමුන් විශ්වාස කරන පරිද්දෙන් ඔවුන් ද විශ්වාස කරන්නේ නම්, තමාගේ මැවුම්කරු තමන්ට අසාධාරණයක් කළා යැයි සිතෙන තරමට ම මේ නීල දරුවා සුවිශේෂව නිර්මාණය වී ඇතැයි ඔහු විශ්වාස කළා.
ඔහු පවා කලකට පෙර පෘථිවිවාසීන් ට ඊර්ෂ්‍යා කළා. තමාට මෙතෙක් නොදැණුනු, නොහැඟුණු හැඟීම් සිතුවිලි සමුදායක් ඒ ග්‍රහයා තුළ ගැබ්වී ඇතැයි කියන සිහිනයක ඔහු ජීවත් වෙමින් සිටියා.
කුඩා කළ සිටම අපි ජීවත් වීමට ආශා කරන සිහින ලෝකයක් බොහෝ දුරට තියෙන්න පුළුවන්. සරලවම කිව්වොත්, ෆැන්ටසියක්.. එක්තරා විදිහකින් එය අපේ මනස තුළ පවතින අභය භූමියක් වගෙයි. යථාර්ථය කියන පීඩාකාරී තැනින් මිදී තාවකාලික සුවයක් ලබන්න පුළුවන් අභය භූමියක් අපි හැමෝගේම මනෝභාවය තුළ කොහේ හෝ හරි තැන්පත් වෙලා තියෙනවා.
ඉතින් මේ තරුණයාගේ අභය භූමිය වුණේ අපි කවුරුවත් නොහිතන ෆැන්ටසියක්. පෘථිවිය තමයි ඒ තැන. ඉතින් ඔහු සිහින දැක්කා. නිල් පැහැයෙන් පෙනෙන සාගර ජලය, හරිතවන් පලසක් වැනි වනාන්තර වල උඩු වියන් ස්ථර, ජීවය සමඟ වර්ණ සංකලනය වී තිබෙන අපූරුව, මිනිසුන් දහස් සංඛ්‍යාවක් එකවර දැකිය හැකි විශාල නගර, එකී නොකී හැමදෙයක් ගැන ම ඔහු සිහින මැව්වා. දැන් මෙය කියවන ඔබට යාන්තමට හරි මේ ආකාරයේ ගැටළුවක් හිතේ මෝදුවෙමින් තියෙනවා ඇති.
"ඔහුගේ සිහින ලෝකය පෘථිවිය නම් ඔහුගේ යථාර්ථය අයිති කොතැනටද..?"
YOU ARE READING
A D A M (Sinhala BL)
Science Fiction"ADAM" කියන්නේ කලකට ඉහත මම නිර්මාණය කරපු කතාවක්. මේ කතාවට Inspiration එක ආවේ "The Space Between Us" චිත්‍රපටය හරහා. ඉන්පසු ටික කලක් තාක්ෂණික කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු රචනය ඇරඹුවා. මම දන්න හෝ මට හැඟෙන මානුෂිකත්වය උපරියෙන් ම කැටි කරන්න උත්සහ කළ කතාව...