Chapter 13

108 8 1
                                    

13 වැනි පරිච්ඡේදය

"අර පොරොන්දු වෙච්චි කෝපි එකට මොකද වෙන්නේ?"අමාෂ් අසද්දී බරකාහ් පුදුමවූ ඇසින් ඔහු දෙස බැළුවාය. මේ තරම් වේලා ව්යාපාරික ලිපිගොනු පිරික්සමින් ඔවුන්ගේ සමාගමේ තොරතුරු විස්තරකරමින් සිටියදී බැරෑරුම් බවකින් ඈ කියන්නකට සවන් යොමමින්, ප්රශ්නකරමින් මහත් ඕනෑකමින් ව්යාපාරය පිලිබඳ අසාගෙන උන් අමාෂ් දැන් උන්නේ නැත. ඒ වෙනුවට සැහැල්ලුවට පුටුව පද්ද පද්දා මහත්වූ බලාපොරොත්තුවකින් ඈ දෙස බලා උන්, බරකාහ්ගේ සිතුවිලි කලඹවන අමාෂ් ඈ ඉදිරියේ උන්නේය.
"දැනටමත් හොඳටම පරක්කුයි," ඈ කීවේ ඔහුගෙන් දෙනෙත් මුදවාගෙන අත් ඔරලෝසුව දෙස බලමිනි. පසුව ඇගේ බැල්ම යාවුණේ කවුළුවෙන් එපිට කළුවර වැටී ඇති පරිසරය දෙසය. අමාෂ් යුහුසුළුව නිකාබය පලඳිනයුරු බලා සිටියේය. ඇගේ දිගු ඇඟිලි හනි හනික කළු ඝෘජුකෝණාස්ර හැඩැති සේද රෙදි කඩ සොඳුරු වත වැසෙන ලෙසින් පටි දෙකක ආධාරයෙන් ගැට ගසද්දී අමාෂ්ට දුක සිතුනි. ඇගේ වත සිරියාවන්තය. පින්පාට වෑහේ. එසේ වූ සුන්දරත්වයක් රෙදිකඩකින් වසාගෙන තමනුත් අපහසුවට පත්වී අනෙකාත් අපහසුතාවයට පත්කරන්නේ ඇයි දැයි ඔහු සිත ප්රශ්න කරන්නට විය. මී පැණි පැහැති ලා දුඹුරු දෑස් ඇරෙන්න අනෙක් සියල්ල කළු ලෝගුවෙන් හා නිඣාබයෙන් වැසීගෙනය. අමාෂ්ගේ විනිවිද යන බැල්ම ඈ නිරීක්ෂණය කරන වග දැනෙද්දී බරකාහ්ගේ ඇඟිලි පැටලෙන්නට විනි. ඈ ඔහු නොතකා අත් මේස් පලදින්නට වූවාය.
"කවද ඉඳංද ඔහොම උණේ?" ඇගේ කලබලය පරදා ඔහුගේ ගැඹුරු හඬ ඇසෙන්නට වූ හෙයින් බරකාහ් අමාෂ් දෙස නෙත් ඔසවා බැළුවාය. ලේසර් කිරණ සේ වූ ඔහුගේ බැල්ම විනිවිද යන සුළුය.
'නිකාබ් එක නෙමෙයි ගෝණියක් ඇන්දත් මේ මනුස්සයාට මාව පේනවා...මගේ හිත කියවන්න දන්නවා.' ඈ සිතුවේ නොරිස්සුමෙන්මත් නොව. අත් මේස් හා වූ පොරයෙන් දිනූ බරකාහ් දෑතේ ඇඟිලි එකිනෙක පිරිමැද්දේ අමාෂ්ගේ බැල්මට ඈ අත් සීතල වූවාක්සේ හැඟුණු නිසාය. අමාෂ් තවමත් රෝද පුටුවේ හිඳ යන්තම් එහා මෙහා කරකැවුණේය. දෙපා දිග හැර සැහැල්ලුවෙන් හිඳ හුන් ඔහුගේ කඩවසම් පෙනුම ඈ සිත කිතිකවන්නට විනි. අවනත නොවන තම සිතට බියෙන් ඈ ඔහුගේ ප්රශ්නයට ප්රති ප්රශ්නයක් ඇසුවාය.
" කොහොම වෙන්නද?" එක අතකට වත බරකරගෙන උන් අමාෂ්ගේ බැල්ම දශමයකින්වත් එහා මෙහා නොවී බරකාහ් දෙසටම යාව තිබුනි. ඈ නෙත් ග්රහණයට ගත් අමාෂ්ගේ මුවග මස්පිඬු ලාවට සෙලවුනි. ඒ පුංචි සෙලවීමටත් අකීකරුව වැවුණු රැවුල් කොට පිරුණු කම්මුල මැද ආකර්ෂණීය ලෙසින් වලගැසෙන්නට විනි. බරකාහ් හට ඉහලට ගත් සුසුම පහල හෙලන්නට අමතක වූවාසේ මොහොතක් ඔහු දෙසම බලා උන්නාය. පසුව සිහින් ලැජ්ජාවක් මෝදුවෙද්දී සිහි එලවා ගත් ඇය කෙළ පිඬක් ගිල්ලාය ඒ බැල්මට පැරදුණු බරකාහ් මහත් අපහසුවකින් අහක බැලුවාය.
"නින්ජා කෙනෙක් උණේ කවද්ද?" ඈ තවත් අපහසුවතාවයට ලක් නොකරමින් අමාෂ් ඇසුවේ තාමත් අර සරදම් සිනහව නොමැකී පවතිද්දීය.
"මොකක්?"
"නින්ජා කෙනෙක් උණේ කවද්ද?" ඔහු කියුවක් හරිහැටි නොවැටහුණු නිසා අමාෂ් මාපොට ඇඟිල්ලේත්, දඹරැඟිල්ලේත් ආධාරයෙන් පෙට්ටියක හැඩයක් සිය දෑස් ඉදිරියේ සන් කළේය. ඔහුගේ ඉඟිය වැටහුණු බරකාහ්ගේ හිස ඉහලට එසවුණේ ඔහු කියූවක් වැටහුණු වග අඟවන්නටය.
"ඇයි එහෙම කියන්නේ? අල්හම්දුලිල්ලාහ්, මේ ඇදුම මං ඇඳලා තියෙන ආරක්ෂාකාරීම ඇඳුම. මේක අඳින්න පටන් අරං ටික කාලයක්, ඇයි?" සිය වස්ත්රය පිලිබඳ දැනුණු සියුම් ආඩම්බරයකින් ඈ කීවාය.
"මං දකිද්දී ඔයා මේක ඇඳේ නෑනේ, ඒකයි. හස්බන්ඩ්ද බලකරේ අඳින්න?" අමාෂ් ඇසුවේ සිත නලියන පැනයකි. එදා මෙදා තුර ඈ බොහෝ වෙනස් වී ඇත. ඊට හේතුව ඇගේ මියගිය සැමියාවග අකමැත්තෙන් හෝ ඔහුට පිලිගන්නට සිදුවිනි. බරකාහ් මොහොතකට දෙනෙත් පියාගත්තේ ලොකු සුසුමක් ඉහලට ඇදගනිමිනි. කොතෙක් වෙර දැරුවත් ඒ අමිහිරි අතීතයෙන් ඇයට ගැලවීමක් නැති වග ඈ සිත කොඳුරන්නට විනි. එහෙත් ඈ ලෙහෙසියෙන් ඒ අතීතයට දිනන්නට ඉඩදෙන්නේ නැත.
"ඔයා මට බල කරාද? කවදද?" ඕනෑකමින්ම ඇසුවේ සිත වූ නොපහන් හැඟුම් නිසාය. ඇයට ඕනෑ වූයේ ඔහු ඇගේ ස්වාමියා බවය. එකෙනෙහිම අමාෂ්ගේ වතේ සැහැල්ලු බව තුරන් විනි.
"කළින් කෙනා," අමාෂ් සිය හඬ බාල කරමින් කීවේ ඒ දැනි අපහසුතාවය නිසාමය.
"අහ්! එයාට මේක අරහං!" උන් තැනින් නැගිට කවුළුව ලඟට පියමනිමින් බරකාහ් කීවාය. බරකාහ් නිකාබය පලඳින්නට හුරු වූයේ කාමිල්ගේ මරණයෙන් පසු වුවත් කාමිල් මේ ඇඳුමට කොහෙත්ම කැමති නොවන වග ඈ දන්නීය. ඔහු ජීවතුන් අතර උන් කාලයේ ඈ මේ ඇඳුම ඇන්දා නම් එයද හේතුවක් කරගෙන තමන්ට වද හිංසාකරනු නො අනුමානය.
"එහෙම වෙලත් ඔයා මේක ඇන්දා නේද? අනිත් අය අකමැති දේ කරන්න ඔයා ආසයි නේද?" අමාෂ්ගේ හඬේ නොපහන් බව මුසුව තිබුනි. බරකාහ්ගේ කට කොණක ලා සිනහවක් ඇඳුනි.
"මං මගෙන් ඇහුවා මං කාටද වගකියන්න ඕන කියලා...මගේ හස්බන්ඩ්ටද නැත්නම් මගේ දෙවියන්ටද කියලා හිතද්දී මං බැඳිලා ඉන්නේ අල්ලාහ්ගේ අණ පිලිපදින්න කියලා තේරුණා." ඈ කියූවකට ඔහු අකමැති වන වග අත්දැකීමෙන් වාගේ බරකාහ් දැන උන්නාය. තමා හිතුවක්කාර වග අමාෂ් සිතන වග බරකාහ් දැන උන්නාය. නැතිනම් ඔහු කියන්නකට ඈ එකඟ නොවන කල ඔහු කිපෙන්නේ නැත. එකට එක කිරීමේ ආශාවක් බරකාහ්ට නැත. එහෙත් ජීවිතයේ ඇතැම් සන්ධිස්තාන වලදී තම අභිමතය පරිදි කටයුතු කිරීම අවශ්ය වන්නේය.
"ඕක අනිවාර්ය නෑ නේ. ඔයා ඔයාටම කරදර කරගන්නවා."
"අනිවාර්ය නෑ කියමුකෝ...ඒත් අකැපත් නෑ," බරකාහ් එසැනින් කීවාය. "නිකාබ් එක මුස්ලිම් කාන්තාවට අනිවාර්යද නැද්ද කියනෙක සංකූල ප්රශ්නයක්. සමහර විද්වතුන් අනිවාර්යයි කියනවා. සමහරු නෑ කියලා කියනවා. මං මේක අඳින්නේ කවුරුවත් කීව පලියට නෙමෙයි. මට ඕනේ කියලා හිතෙන නිසා. සමහරු නිර්වස්ත්රව පාරෙ යන්න කැමතියි. සමහරු සංවරව අඳින්න කැමතියි. මං...මං මේ විදිහට කැමතියි. ඒක මගේ කැමැත්තක්. මගේ අභිප්රාය දෙවියන් පිනවීම මිසක් මේක අනිවාර්යද, නැද්ද කියනෙක මට වැඩක් නෑ." බරකාහ් කීවේ ආවේගයෙන් වාගේය. අමාෂ් දෙතුන්වර හිස දෙපසට සැළුවේ ඈ කියන්නකට එකඟ නොවෙමිනි.
"ඕක ඇඳං...අමාරු නැද්ද...ලෙඩක් හැදුනා වගේ?"
"අල්හම්දුලිල්ලාහ්! මං අනන්තවත් ලෙඩ වෙලා තියෙනවා...ඒත් මේ ඇඳුම ඇඳපු නිසා නෙමෙයි. ඔයාගේ වචනයෙන් නින්ජා ගෝණිය."
"පිස්සු!" අමාෂ් දෙබැම හකුලා කීවේ ඇගේ සැහැල්ලු කතාවටය.
"ඔයා හිතන්නේ නබිතුමාගේ දුවලට එහෙම පිස්සු කියලද?" බරකාහ්ගේ කතාවට අමාෂ් තිගැස්සුනේය. නබි තුමා යනු මුස්ලීම් ඔහුට උතුම්ම චරිතයය. නබි තුමාගේ ඔවදන් එයාකාරයෙන්ම පිලිපැද, ඒ මාර්ගයේම නොගියත් ඔහු සිත තුල ඒ භක්තිය ඇත. නබි සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමාණන් අනුගමනය කළ එදවස පිරිස පිලිබඳවද ඇත්තේ එයාකාරවූ භක්තියකි. අනේක විද කැප කිරීම කොට ඉස්ලාම් ධර්මය ලොවට ඉගැන්වූ ඔවුන් පිලිබඳ අවතක්සේරු කරන්නට ඔහු සිතුවේ නැත.
"නෑ!"
"එහෙනං එයාලව අනුගමනය කරනෙකේ ඇති වැරැද්ද මොකක්ද?"
"වැරැද්දක් නෑ...අයිම් සොරී. ඔයා ලේසියෙන් ගිව් අප් කරන්නේ නෑ නේද?" අමාෂ් ඇසුවේය. බරකාහ් හට ඔහුගේ සිතැඟි කියවන්නට, කියවා තේරුම්ගන්නට බැරි විනි. උන්නාටත් වඩා සංයමයක් අමාෂ් තුළින් ඒ මොහොතේ පිලිඹිඹු වන්නට විනි. ඔහු ඒ ඇසුවේ හොඳින්ද, නරකින්දැයි වටහා ගන්නට ඈට බැරි විනි.
"යමුද?" ඔහු නෙත් මග හරිමින් කවුළුවින් එපිට බැලූ බරකාහ් ඇසුවාය.
"පොරොන්දුවෙච්ච කෝපි එක අවලංගුයි නේ?" යලිත් සැහැල්ලු හඬින් ඔහු ඇසුවේය. ලා හසරැල්ලක් ඈ මුවග රැඳුනත් අමාෂ් එය දුටුවේ නැත.
"සමුගැනීමේ සාදයට වෙන්කරන්න." සිහින් හඬින් කීවේ අමාෂ් දෙස නොබලමිනැයි සිතට පොරොන්දුවෙමිනි. එහෙත් නොබලා බැරිවුනි. අමාෂ්ගේ කොඳු ඇට පෙල කෙලින් විනි. බලා ඉඳැද්දීම අමාෂ්ගේ වත පුළුටු විනි. ඈ දෙස නපුරු බැල්මක් පාකල අමාෂ් ඉක්මනින් අසුනින් නැගිට ගත්තේ තවත් වචනයකින් හෝ ප්රමාද නොවෙමිනි.
'මූණේ තියෙන නපුරු පාට!' බරකාහ් තමාටම මුමුණාගත්තාය. 'වෙන්වෙන්න අකමැති නිසාද ඔය? එහෙම නැත්නම් මං එක කියපු නිසාද? ඔව්, එහෙම වෙන්ටැති. එයා කොහොමත් කැමති එයා තීරණ ගන්නවටනේ.'
ඔහු පසුපස ලහි ලහියේ අඩි තබමින් ඈ සිතුවාය.
මෝටර් රථයට ගොඩවූ වේලේ පටන් ඔවුන් දෙදෙනා අතර වැඩි කතාබහක් සිදුවූයේ නැතිතරම්ය. ටික දුරක් යනතුරු නිහඬව ගමන්කළ අමාෂ් පසුව ඔහුට ප්රිය වේග රිද්ම සංගීත තැටියක් වාදනය කලේය. ඒ සද්දෙට බරකාගේ හුස්ම හිරවෙන්නාක් සේ දැනුණත් ඈ පෙරලා කිසිත් කීවේ නැත. මග දිගේ වූ වීදි ලාම්පු තුලින් විහිදෙන ලා එළිය රතයේ වීදුරු තුලින් ගලා එන්නට විනි. රියදුරු කණ්නාඩිය හරිගස්සන නියායෙන් අමාෂ් දෙතුන්වර ඈ දෙස බලන වග බරකාහ් සිතුවාය. නො එසේ නම් ඔහු එසේ කරනවග ඈ අනුමාන කරන්නීද?
'කොහොමත් කණ්නාඩියෙන් එයා පිටිපස්සෙං එන වාහන දිහා බලන්න ඕන නේ..." තමා ඕනෑ නැති දෑ උපකල්පනය කරන වග ඈ සිතුවාය.
ඒ නිසාම කාර රතයේ දොරට උරදී හිස තබා දෙනෙත් පියාගත්තාය. මහන්සි නොදැනුනාමත් නොවේ. එහෙත් ගතට වඩා ඔහු ඉදිරියේදී හිත විඩාබරවෙනවා වැඩිය.
"ඕෆ් කරන්නද?" සංගීතය පරදා ඔහුගේ ගැඹුරු හඬ ඇසෙන්නට වූ හෙයින් බරකාහ් දෙනෙත් හැර ඉදිරිය බැළුවාය.
"කමක් නෑ," හිතැතුලින් ඈ තමන්ටම සුභපතා ගත්තේ ඇගේ අනුමානය නිවැරදි නිසාය. අමාෂ් ඈ පිලිබඳ විපරමින් පසු වූවග ඇයට විශ්වාසය. තවත් වරක් රියදුරු කණ්නාඩියෙන් ඈ දෙස බැළුු අමාෂ් සංගීත පෙට්ටිය නිවා දැමුවේය. බරකාහ් සිනා වූයේ නිතැතිනි. අමාෂ් ඇත්තටම ඈ පිලිබඳ සිතා වෙහෙසෙන්නේද? ඒ වග පිලිගන්නට සිත සූදානම් නැතත් ඔහුගේ කරුණාවට ඈ සිත ඇදී යන්නට විනි. නුවර වැව පසුකර යද්දී උණු කඩල ගොට්ටක් අත දරාගෙන ඔහු හා අත් පටලාගෙන හෙමි හෙමින් වැව් ඉස්මත්තේ පියවර මනින්නට සෙනෙහස සොයන, ඔහුට වසඟ වන සිත අහිංසක පැතුම් පතන්නට විනි. අමාෂ්ගේ පපුතුරේ වත හොවාගෙන ඒ උණුසුමට ලංවී සීත වැව් සුලඟ විඳින්නට ඇත්නම් යැයි අකීකරු සිත සිතන්නට විනි. අමාෂ්ගේ ආදරණීය බිරිඳ වී ඒ සෙනෙහසට උරුම කියන්නට හුදු කොන්ත්රාත් විවාහයකට අත්සන් යෙදූ ඇයට හැකි වේද?
බරකාහ් නෙත් පිය සලා එකවර අවදිවූයේ ඇගේ සිහිනය සැබෑවූවාදෝයි යන හැඟීමෙනි. එහෙත් ඔවුන් උන්නේ අමාෂ්ගේ නිවස ඉදිරි පිටය. හිත පිරෙන්න හීන පුරවාගත් ඇය ඒවා සිතින් ගසා දමා කෲර ලෙසින් මර්ධනය කොට රතයෙන් බිමට බැස්සේ සුරංගනා කතාවල සේ ජීවිතයේ අපූරත්වය විඳින්න ඈ වන් අසරණ මිනිසුනට ඉඩකඩ නැතිවග දඩබ්බර හිතට ඒත්තු ගන්වමිනි.
ඈ ලඟින්ම පිය මැනි අමාෂ් දෙස බරකාහ් නෙත් ඔසවා බැලුවේ නැත. ආදරයට කිසිම ඉඩක් නැති වග අමාෂ් පැහැදිලිවම කීවා නොවේද? නිවසට ඇතුළුවෙනවාත් සමගම ඇතුල් ගෙයින් එළියට දුවගෙන ආ කාමු දැක මොහොතකට බරකාහ්ගේ සිත සලිත විනි. ඈ නොබලමියි සිතුවද අමාෂ් දෙස නොබලා බැරි විනි.
"මොකද කාමු?" අමාෂ් අසන්නටත් පෙර බරකාහ් කලබලයෙන් ඇසුවාය.කාමුගේ දෙනෙත් තෙත්ව වීදුරු වන් කඳුළු කැට ගඩ ගඩ ගා වැටෙන්නට විනි.
"අඬන්නැතුව කියන්න කාමු, මොකද වෙලා තියෙන්නේ?" ඒ අමාෂ්ය. ඔහුගේ නොසන්සුන්බව මනාව ඒ හඬින් පිලිඹිඹු විනි.
"මේ කෙල්ලො තුන්දෙනා තාම ආවේ නා..." කමෘන් වෙව්ලන හඬින් කීවාය.

***

ආදරේ විතරමයි- Nothing but LoveWhere stories live. Discover now