අකාල
මරණය නැවතත් සිය අභිමුවට පැමිණ ඇති බව වටහා ගත් ස්වර්ණද්වාරයේ සෙන්පති වේදාන්ත, පලා යෑමට අවැසි පමණටත් අවකාශය තිබිය දී ම සතුරාට මුහුණ ලා සිට ගත්තේ ය.
පසමිතුරා සිටින්නේ කුමන දිශාවේ දැයි වේදාන්තට කීවේ මොහොතකට පෙර ඔහුගේ උදරය පසාරු කළ හීය යි.
තුනටියට මඳක් ඉහලට වෙන්නට සිරුර විනිවිද ගිය හීය සෙමෙන් සෙමෙන් එහේමෙහේ වෙමින්, ඉබේටම සිරුරින් පිටතට තල්ලු වෙන ආකරය දත්මිටි කාගෙන ඉවසා ගත් නමුත්, ඊලඟට පියඹා ආ ඊතලය - සම් මල්ලකට අතින් පහරක් ගැසූ කළෙක මෙන් හඬක් නගා ගෙන පපුවේ හදමස සිදුරු කරමින් ඇමිණි ගන්නා විට නම් වේදාන්තගේ මුවින් මහත් විලාපයක් වාතලයට මුසු වුණි.
දෙකකුල් අප්රාණිකව ගිය හේ, රත් වු වැලි තලාව මත්තේ දණින් ඇද වැටුණි.
මේ, ස්වර්ණ්ද්වාරයේ සෙන්පති වේදාන්ත මියැදෙන පළමු වතාව නොවේ.
උදරයේ සිට මුව වෙත ගලා එන උණුසුම් රුධිරයේ තඹ රසයත් පෙනහළුවලින් නැගෙනා ගින්නෙන් පිළිස්සෙනවා වැනි තියුණු දැවිල්ලත් හමුවේ, මරණයේ අන්ධකාරය අත මානයේ ඇතිබව වේදාන්ත වටහා ගත්තේ පෙර ලද අත්දැකීමෙනි. මින් පෙර මියගිය වාර ගණන බොහෝ නමුත්, දැනෙන මරණයේ වේදනාව නම් අප්රියජනකමය. එයට හුරුවෙන්නට හැකි වෙතැයි වේදාන්තට නොසිතුණි.
අවට වටපිටාවේ ගස්වැල් ද... ගලා ගන ගඟ ද... තුරුලතාවලට ඉද්දෙන් විසුරුණු පළිඟුවක් සේ පැහැදිලි නිල් අහස් තලය ද සක පෝරුවක් මෙන් සෙමින් භ්රමණය වන බවක් දැනෙද්දී, හිස තවදුරටත් සෘජුව තබා ගත නොහුණු වේදාන්තගේ නිකට යන්තමින් පොළව දෙසට හැරුණි.
මුවට එකතු වී තිබූ, ඔලිඳ ඇටවල රත් පැහැ ගත් උණු රුධිරය දෙතොල් අතරින් බේරී ගෙන සුදු වැලිතලාව මත්තෙහි වැගිරී ගියේ ය.
එදෙස බලා සිටින වේදාන්තගේ සවනට, ඔහුගේ ඝාතකයාගේ අඩි සටහන් ලංවන ආකාරය යන්තමින් ඇසුණි.
උදරයේ ඇමිණී තිබුණු හීතලය සිරුරින් ගැල වී අවසානයේ එළියට වැටෙනවාත් සමඟින් ම, පැමිණෙන ප්රථිවාදියාගේ දුන්නෙන් තවත් හීයක් නිකුත් වෙනවා ද - ඇසිපිය හෙලන පමාවකින් දෙවන හීතලයත් එතැනම පසාරු කරනු ද වේදාන්තට දැනිණ.
YOU ARE READING
අකාල | The Timeless
Romanceවේදාන්ත සහ සාරද සතුරු රටවල් දෙකක තරුණයන් ය. දෙදෙනාම මිය නොයන අමරණීයයන් බව වටහා ගන්නේ සටන් වැදෙන විටයි. යුද්ධයෙන් ජයගත් වේදාන්තගේ සිය රටට ඒමට සාරදට ආරධනා කරයි. අතරමඟ සෙන්පති වේදාන්ත සාරද සම්ඟින් පෙමින් වෙළුණද ඔහුගේ සිතේ අනාගතය පිළිබඳව ඇත්තේ කළ යුද්ධ...