නොහිතුව වෙලාවක ඇද හැලුණු මොර සූරන වැස්සත් එක්ක මං ළඟ තිබුණු කැෆේ එකකට ගොඩ වුණේ වැස්සට නොතෙමී ඉන්න අරමුණින් විතරමයි. ඒ වුණත් කැෆේ එකේ අඳුරු මුල්ලක වාඩි වෙලා ටික වෙලාවකින් සිරුර විනිවිද යන තරමට දැනුණු සීතලත් එක්ක මට සිද්ධ වුණා තීරණය වෙනස් කරන්න.
සාක්කුවට අත දාලා ඉතුරු වෙලා තිබුණු අන්තිම කාසි ටික අල්ලට අරගෙන මං මොහොතක් ඒ දිහා බලා හිඳියා. අන්තිමට මං හිතුවා ඒ ටිකත් වියදම් කරලා කෝපි කෝප්පයක් බොන්න.
සල්ලි වියදම් කරන්න මෙච්චර පැකිලෙන්න හේතුව කොහෙත්ම මං දුප්පතෙක් කියන එක නෙවෙයි. පීනන්න තරම් සල්ලි නැති වුණත් මට ඕනි විදියට වියදම් කරන්න මං ළඟ සල්ලි තිබුණා. ඒ වුණත් මේ ටික වියදම් කළොත් ගෙදරට යනකල් පයින් යන්න වෙන එක ගැන මට හිතන්න තිබුනා.
කොහොම වුනත් අන්තිමේදි මං ඇමරිකානු කෝපි කෝප්පයක් එක්ක මෆින් ඇණවුම් කළා.
ඇණවුම ගෙනත් දෙනකල් මං වීදුරු බිත්තියට එපිටින් පේන දර්ශනය දිහා බලාගෙන හිටියා. සමහරු කුඩ ඉහළගෙන, තවත් සමහරු බෑග් එකෙන් ඔලුව වහගෙන. හැමෝගෙම වුවමනාව ඉක්මනින් නොතෙමෙන තැනකට යාගන්න. පෙළක් අය කඩ ඇතුළට රිංගුවා ; බඩු ගන්න නෙවෙයි නොතෙමී ඉන්න. තවත් අය වාහන ඇතුළට රිංගුවා ; කොහෙවත් යන්න නෙවෙයි ටික වෙලාවකට හරි හෙවණක් හදාගන්න. එහෙම බලද්දි මිනිස්සුන්ට කෙනෙක්ව මතක් වෙන්න නම් කරදරයක් වෙන්නම ඕනි.
ඒත් එක පුංචි බලු පැටියෙක් පාර මැද්දට වෙලා තෙමෙනවා. ආසාවෙන් වැස්සෙ තෙමෙනවා නෙවෙයි ; යන්න තැනක් නැති කමට ඉන්නවා. කොහෙ යන්නද ? සුපිරි පන්නයේ කඩ සාප්පු පිරුණු නගරයේ කා ළඟට යන්නද?
මොහොතකට හිතුනා බලු පැටියගෙත් මගෙත් තියෙන එකම වෙනස ඌ බල්ලෙක් වෙලා මං මනුස්සයෙක් වුණු එක විතරයි කියල. ඒ හැඟීමත් එක්කම මගෙ දෙපාවලට වුවමනා වුණේ එතනට ගිහින් ඒ බලු පැටියව ළඟට ගන්න. ටික වෙලාවක් කල්පනා කරල මං නැගිට්ටා.
ඒත් මට කලින් වෙන කෙනෙක් ඉස්සර වුණා. එයා තරුණ ගෑනු ළමයෙක්. එයා ළඟ කුඩයක්වත් නොතිබ්බ ගානයි. ඒ වුණත් එයා ඒ ගැන තැකීමක් නොකර වැස්සෙ තෙමි තෙමිම බලු පැටියව අරගෙන ගියා. ඉතින් ආයෙමත් මං වාඩි වුණා.
තවත් ටික වෙලාවක් එක දිගට වීදුරු බිත්තියෙන් එපිට ලෝකය දිහා මං ඔහේ බලා හිටියා. එළියෙන් වීදුරු බිත්තිය දිගේ පහළට රූටා වැටුණු වැහි බිංදු දිහා මං බලාගෙන හිටියා. ඒත් ටිකකින් එයාලා මගෙ දර්ශන පථය වහලා දැම්මෙ වීදුරු බිත්තියෙ සුදු පාට මීදුම් පටලයක් බැඳලා.
මීදුම පිහිදාලා දාන්න ආපු ක්‍ෂණික සිතුවිල්ල මදකට හිත ඇතුළෙම හංගලා මං ඒ උඩ දබරැඟිල්ලෙන් ලියන්න ගත්තා.
-"J"
මං ගැස්සිලා ගියෙ ඒ කටහඬට. ඒ හිටියෙ අර ගෑනු ලමයා. බලු පැටියව අරන් ගිය කෙනා. එයාව තෙමිලා. එයා හිටියෙ හිනා වෙලා. ඒ හිනාව ඇතුළෙ මං මොහොතකට අතරමං වුණා.
එයාගෙ අවධානය තිබුණෙ වීදුරු බිත්තිය දිහාවට. එයා කියෙව්වෙ මං එතන ලියපු දේ.
-"ඇයි නැවැත්තුවෙ දිගටම ලියන්න."
එයා කිව්වෙ කෝපි කෝප්පයක් සහිත බන්දේසිය මේසය උඩින් තියන ගමන්. ඔව්......එයා මෙතන වැඩ කරන කෙනෙක්ද කොහෙද.
-"ඔච්චරයි."
-"ඔච්චරයි??"
-"ඔව්....ඒ මගෙ නම"
-"ජේ......ලස්සන නමක්."
එතෙකින් නැවතුණු කතාව හමුවේ එයා මං ළඟින් ගියා. ඒ වුණත් මට දිවුරන්න පුලුවන් මං එතන හිටිය මුළු කාලය පුරාවටම එයා මං දිහා බලාගෙන හිටියා කියල. මොකක්දෝ හේතුවකට මට හිතුනා ඒ ගැන අහන්න. ඒ නිසාම මං හිමින් සීරුවේ දුම් දමන කෝපි කෝප්පය ඉවර කරලා එයා ළඟට ගියා.
-"මොකද....?"
මං දැක්කා එයා තිගැස්සුණා. ඒත් ඊළඟ මොහොතෙ මූණට හිනාවක් අරන් එයා කතා කළා.
-"I like you"
එහෙම කියල එයා යද්දි තිගැස්සුණේ මං. ඒකට හේතුව පළවෙනි වතාවට ගෑනු ළමයෙක් මට කැමතියි කියල කියපු එක නෙවෙයි. ඕනි තරම් ගෑනු ළමයි මට ඒක කියල තියෙනවා. ඒත් ඒ මෙහෙම නෙවෙයි. එයාලා කියන්නෙ මං ඔයාට ආදරෙයි නැත්තං ඔයා ගොඩක් කඩවසම් වගේ ඒවා. ඒ නිසයි මං පුදුම වුණේ.
A/N :-
පළවෙනි Enhypen ff එක විදියට මේක දෙන්න නම් කොහෙත්ම අදහසක් තිබුනෙ නෑ. මේක මේ හදිස්සියෙ ආපු අදහසක්. කොටස් පහයි උපරිම.
අදහස් කියන් යන්.
✍Chimmy Choco
YOU ARE READING
Just Three Words [Completed]
Fanfictionජීවිතයක් කණපිට පෙරළන්න වචන තුනක් හොඳටම ඇති. Start :- 20.09.2021 End :- 23.09.2021 ✍Choco Bee