කලබලකාරී උදෑසනක සන්සුන් විදියට මං ඉදිරියට පියවර තිබ්බා. ගොඩක් දවස්වලට සිද්ධ වෙනවා වගේ මට සිද්ධ වුණා අදත් කොලේජ් එකට යනකල් පයින් යන්න. අද නම් ඒකට හේතුව සල්ලි නාස්ති කරපු එක නෙවෙයි. මං නින්දෙන් බලපු හීනෙ.
ඒ හීනෙ ටිකක් දිගයි. ඒ නිසා මට නැගිටින්න පරක්කු වුණා. ඒකෙ ප්‍රථිඵලයක් විදියට මට සුපුරුදු බස් එක මග හැරිලා මේ විදියට පයින් යන්න සිද්ධ වුණා.
ඒ වුණාට මගෙ හිතේ නම් ඒකට අකමැත්තක් තිබ්බෙ නැද්ද කොහෙද. ඒකට හේතුවක් තිබ්බා.
ඒ මං කැෆේ එකේ ගෑනු ළමයව මුල්ම වතාවට මුණ ගැහිලා දවස් දෙකකට පස්සෙ.
මුල්ම වතාවට??
ඔව්. මට ඊටපස්සෙත් එයාව හම්බුනා. එදත් මට මේ වගේම කොලේජ් එකට පයින් යන්න සිද්ධ වුණු දවසක්. වැඩිය කවුරුත් නොගැවසෙන අතුරු පාරක් ළඟ එයා හිටියෙ කාවහරි බලාපොරොත්තුවෙන් වගේ. දැක්ක ගමන් එයාව අඳුර ගන්න මට පුලුවන් වුණා.
ඒ වුණත් මං එයාව පහු කරගෙන ගියෙ එයාව නොදැක්ක ගානට. එයාට මාව මතකත් නැතුව ඇති. අනික එයා මොකටද එක දවසක් විතරක් හම්බවුණු කෙනෙක්ව මතක තියාගන්නෙ.
"ඒත් එයා ඔයාට කැමතියි කිව්වා ජේ."
මගෙ ඔලුව ඇතුළින් ඒ විදියට කෑ ගැහුවා.
"ඕනි තරම් ගෑනු ළමයි මීට කලින් මට කැමතියි කියල තියෙනවා."
මං දිගටම ඇවිදගෙන ගියෙ එහෙම හිතන ගමන්. මගෙ හිත කෑ ගැහුවා හැරිලා බලන්න කියල. ඒත් මොළේ කිව්වෙ කාටවත් දෙවෙනි නොවී ඉස්සරහට යන්න කියල. ඒ විදියට මං හුඟක් දුර ආවා. අර අතුරු පාර පේන තෙක් මානෙක නැති දුරකට ඇවිත් මං නැවතුණා. ඒකත් මට කල්පනා කරන්න ඕනි නිසා නෙවෙයි සපත්තුවෙ ලේස් එක ගැටගහගන්න. මගෙ මොළේ කිව්වෙ එහෙමයි.
එහෙම්මම පාත් වෙලා ලේස් එක ගැටගහද්දි මං අහම්බෙන් වගේ දැක්කෙ මට පිටිපස්සෙන් එක තැන එහාට මෙහාට වෙන කකුල් දෙකක්. ලේස් එක ගැටගහලා මං ඒ පැත්ත හැරිලා බැලුවෙ ඒ කවුද කියල.
මං හිතන්නෙ මගෙ ඇස් දෙක ලොකු වෙන්න ඇති. ඒ හිටියෙ එයා.
ඒ කියන්නෙ එයා අතුරු පාර ළඟ බලාපොරොත්තුවෙන් හිටියෙ මාවද?
එයා එතන ඉඳලම මගෙ පිටිපස්සෙන් ආවද?
ඒ වගේ ගොඩක් ප්‍රශ්න මට අහන්න ඕනි වුණත් මං ඇහුවෙ එකම එක දෙයයි.
"මොකද?"
එදා වගේම අදත් එයා එකපාරටම ගැස්සිලා බිම බලාගත්තා.
"නෑ ........මේ.......මං කියන්න ආවෙ........
.I love you."එහෙම කියල එයා බිම බලාගෙනම ඉස්සර වෙලා ගියෙ මුකුත් නොකිව්ව ගානට. ඒ සැරෙත් පුදුම වුණේ මං. ඇස් ලොකු කරගෙනම මං එයා යන දිහා බලාගෙන හිටියා.
එදා ඉඳලා හැමදාම එයා ඒ අතුරු පාර ළඟ ඉඳලා මගෙ පිටිපස්සෙන් එනවා. ගණන් නොගන්නවා වගේ හිටියට මං දන්නවා මගෙ හිත පිනුම් ගහනවා.
YOU ARE READING
Just Three Words [Completed]
Fanfictionජීවිතයක් කණපිට පෙරළන්න වචන තුනක් හොඳටම ඇති. Start :- 20.09.2021 End :- 23.09.2021 ✍Choco Bee