23

399 100 167
                                    

පසු දින සවස් භාගයේ හෝසෝක් සිය පියාණන් රැගෙන ආ 'ඉස්තරම්' සළු පිලි වලින් සැරසුනේ සිදු වීමට යන කිසිඳු දෙයක් පිළිබඳව හෝ උනන්දුවක් නොමැතිවයි. ඔසු පිලිබඳ දැනුම කෙසේ වෙතත් හෝසෝක්ගේ කොණ්ඩා මෝස්‌තර දැනුම ගැන කිසිත් විශ්වාසයක් නොතැබූ යුරී, සිය දෑතින්ම ඔහුගේ කොණ්ඩය සකසන්නට වුනා.

හෝසෝක්ගේ දිගු වරලස හොඳින් පිරූ ඇය, ඉන් වැඩි කොටසක් අලංකාර ලෙස උරහිස් මතින් සිහින් ඉඟටිය දක්වා නිදැල්ලේ කඩා වැටෙන්නට ඉඩදී ඉතිරිය හිස් මුදුනේ රඳවා කුඩා කොන්ඩාකටු මගින් එය රඳවන්නට වුනා. සිය විලාසිතාවෙන් සෑහීමට පත්වූ යුරී පුයර හා තොල් ආලේපනද මදක් ගල්වා හෝසෝක්ව තවත් හැඩ ගන්වමින් සිනහසුනේ බෝනික්කෙකු හා සෙල්ලම් කරන්නට ලැබුණු කුඩා දැරියක් මෙන්.

ඉන්පසු ඇය හෝසෝක් තනි කරමින් වේගයෙන් දිව ගියේ නම්ජුන්ගේ කොණ්ඩා මෝස්තරය සත් වන වතාවටද නැවත සැකසීමටයි. මන්දයත් නම්ජුන්ගේ සියල්ල කඩා බිඳ දැමීමේ පුරුද්ද කොණ්ඩා මොස්තරයටද අදාළ වූ එකක් නිසාවෙන්.

තමා ඉදිරියේ ඇති කැටපතෙන් මුහුණ බැලූ හෝසෝක්ට දකින්නට ලැබුනේ සුන්දර තරුණයෙක්. මෙවන් ආකාරයේ අලංකාර හැඩ ගැන්වීමක්..... හෝසෝක් සිය දිවියේම මෙතරම් අලංකාරව සැරසී සිටියේ සිය මංගල දිනයේ පමණයි.

අහෝ.... යුන්ගි ඔහුගේ අලංකාර රතු පැහැ වස්ත්‍රයටත් සුන්දර පෙනුමටත් වශීව ඔහු දෙස දිලෙන දෑස් වලින් බලා සිටි ආකාරය..... සිය මංගල දින රාත්‍රියේ යුන්ගි ඔහුව ඉතා ආදරයෙන් ආලිංගනය කල අයුරු.... ඔවුන්ගේ සොඳුරු අතීතය හෝසෝක්ගේ දෑස් ඉදිරියේ මැවෙන්නට වුනා.

තම සිත යුන්ගිගේ මතකය තුල අයාලේ යනු නැවැත්වීමට හෝසෝක්ට කිසිසේත් නොහැකි වුනේ ඔහු කරන කියන සෑම දෙයක් පාසාම යුන්ගි සමගින් බැඳුනු සුන්දර මතකයක් ඇති නිසාවෙන්. ඒ සැනෙකින් හෝසෝක් අල්මාරියේ ලාච්චුවක යුන්ගිගේ උණුසුම් සුවඳ තවමත් රැඳී ඇති වස්ත්‍රයක් මතින්ම ඔතා, ඉතා සුරැකිව දමා තිබුණු මහාර්ඝ වස්තුව ඉවතට ගන්නට වුනා.

ඒ යුන්ගිගේ අවසාන ත්‍යාගයයි.යුන්ගි සතුව තිබු වටිනාම වස්තුවයි. සිය ඇඟිලි තුඩු වලින් ඉතා පරිස්සමින් හරිතමනියෙන් තැනූ ඒ අලංකාර හිස්පළඳනාව පිරිමදින්නට වූ හෝසෝක්, එහි වූ ප්ලම් මල් පෙත්තකට සිය මුදු දෙතොල් වලින් හාදුවක් දෙන්නට වුනා.

Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now