• පෙරවදන •

151 11 19
                                    

ගලමුදුන ගම්මානයට දවස් හයක් තිස්සේ එකදිගට වැහැපු වැස්ස හත්වෙනි දවසේ මහ පාන්දර වෙද්දි නතරවෙලා තිබ්බේ ගම්මානේ උන්නු තලත්තෑනි මිනිස්සු ඉහ මුදුනේ දෑත් තියාගෙන දෙයියන්ට කන්නලව් කරපු නිසා කියලා උන් හිතාගෙන හිටියට මුලු අහසම වහගෙන උන්නු අන්ධකාර වලාකුලු දිහා බලපු සේදරන්ට සිද්ද වෙන දේවල් තේරුම් ගන්න මහවෙලාවක් ගියේ නෑ.

ජීවිතේට පනාවක් නොදැක ගැට ගැහිලා තිබ්බ කොන්දේ මැදක් වෙනකම් තිබිච්ච සුදුපාට කෙස් වැටියයි, හුඹහෙන් ඇදලා ගත්ත තලගොයා වගේ ඇටසැකිලි පෑදිලා තිබ්බ ශරීර කූඩුවයි ඇරුණම සේදරන්ගේ කැපිලා පේන අනිත් එකම දේ වුණු ගිලිලා ගිය ඇස් දෙක යොමු වෙලා තිබුණේ දුම්බර මහ වනේ මැද්දෙන් ගමට එන්න පිහිටලා තිබුණු වල් වැදිච්ච පාර දිහාට.

වෙනදට මීහරක් දක්කගෙන යන කුරාගේ ඉදන් වතුර ගේන්න යන ගමේ පොඩි ඇච්චො බැච්චො වෙනකම් හැමෝම දිහා හිනාවකින් බලන සේදරන්ගේ මේ වෙනස ගමේ උන්ටත් නොතේරුනා නෙමෙයි.

ඒත් අවුරුදුම කීපෙකට පස්සේ ආයෙමත් සේදරන්ගේ බෙල්ලේ එල්ලිලා තියෙන දිවිදත් මාලයයි අතේ තිබ්බ රතුපාට පාංකඩයකින් ඔතපු මොකද්දෝ පොට්ටනියකුයි දැක්කට පස්සේ නොදන්න තැන් හගිස්සවන්න සේදරන්ගේ ලගට එන්න හයියක් තියෙන එකෙක් ඒ ගමේ උන්නු පවුල් දහය පහළොව අතරේ හිටියේ නෑ.

අවුරුදු අසූහයක් වුණු ඇසිලිංගේ බාල සන්දියෙත් තනියෙන් හරක් බානක්ම මෙල්ල කරන්න පුලුවන් තරමේ හයිහත්තිකාරයෙක් වෙච්ච සේදරන්ගේ ළමයි හතර දෙනාගෙන් දැනට ඉන්නේ ඇදටම වැටිලා ඉන්න බාලම එකා විතරක් වුණුකොට සේදරන් තාමත් කකුල් දෙකෙන් හිටගෙන ඉන්න එක ගම්මුන්ට පුදුමයක් වුණේ නෑ කිව්වොත් ඒක බොරුවක්.කකුල් දෙකෙන් හිටන් ඉන්න එක නෙමෙයි අනුමානෙට බැලුවොත් අවුරුදු සීයත් පැනලා කියන්න පුලුවන් තරමේ ඉන්න සේදරන්ගේ පණ කෙන්ද තවම රැදිලා තියෙන එකත් මහ ලොකු අරුමයක් තමයි.

වැහි කලුවක් කියලා කියන්නත් බැරි ඒත් ඊට වඩා වෙනසකුත් නැති අහස දිහා බල බල සේදරන් හෙමි හෙමින් පාර දිගේ අඩි තිය තිය ඉස්සරහට ගියේ ලොකු කල්පනාවකින්.

ස්වර්ණධීරWhere stories live. Discover now