01

67 6 34
                                    

"රෙගුම් ගුඳත් ගත් දෙගත් ගතකු දොං!"

අඩි තුනක් තරමට උස් පිල්කඳ මත්තේ වාඩි වී හිඳින්නේ ඉසේ තැනින් තැන නර කෙස් කිහිපයක් මතු වෙන්ට ගත්ත තද පාට ඒ වුණත් ප්‍රියමනාප හමක් ඇති තලතුනා වයසක ඉන්න පිරිමි පරාණයක්. ඒ පිරිමියා උරයේ කම්බි ලේන්සුවකුත් දමාගෙන දෑතින් ම දෙදණට මෙපිටින් හිටින ආකාරෙන් ඉණ බැඳ තබා ගත්තා වූ දිග් බෙරයක දෙකෙළවරම වසා ගත්ත පදම් කර වූ හරක් හම් පට කම්පනය කරවන නාද රටාවන් කනට ඇහෙන්නේ එහෙමයි. තදම තද කලු පාට ත් ගැඹුරු ම මුහුදේ තද නිල් පාට ත් එකට හාමු වූ පට සරමකින් සැරසී ඉන්නා මේ මිනිසා ගේ නග්න උඩුකයේ උදරය මත්තෙන් පරිණත බවටම උරුම වන රේඛා ද්විත්වයක් වැටී තිබුණේ ඔහු සතුව තියෙන්නා වූ ඒ පරිණත මෘදු පෙනුම තව තවත් ඔප් නංවමින්. දකුණු අතෙහි උරිස්සට පහළින් කලු නූලක අවුණා බැඳගෙන තිබෙන්නා වූ ඒ සුරයත් ඔහුගේ ඒ මෘදු පෙනුමට දකුණු රටටම ආවේණික අමුතු ම තේජසකුත් එක්කාසු කොට තිබුණා.

ඔහුගේම එක් පැත්තකින් පිල් කඳ මතම වාඩි වීගෙන උන්නේ තවත් එවැනි ම වයසක හිඳින බීරලු රේන්දයෙන් හැඩ කල සුදු පාට කබා කුරුත්තුවකට තවත් වටිනා පේන නොපේ⁣න ගාණිං කලු ඉරි වැටුණා වූ තද නිල් පාට පට කම්බායක් ඇඳ පැළඳ ගත් ප්‍රියමනාප ගැහැණියක්. ඈ තාලම් පටින් තාල තියන්නේ දිග් බෙරයේ ගැඹුරු රැව් දෙන නාද මාලා අස්සෙං හොරාවට මෙන් වහං වන්නා වන මාත්‍රා වල වගතුග වෙච්චි. එයත් මේ පින්න හන්දා ඩිංගක් තෙත බැහැ ගත්ත සුදු වැලි බි⁣ම මත්තේ සුරල් පාග පාගා රඟන ගැට වයසේ උන්ට ඒවා හරි තැනිං මතක් කර දෙන්නට ඕනෑ නිසා.

"දෑතින් පන්දු උඩ දමමින් නොවල සිනා
ඈතින් සිට නටා පද නිවැරැදි ලෙසිනා
මේ දැන් සබේ සිටිනා සැම සන්තොසිනා
ඈතින් බලන් සුරඹා වල්ලිය නටනා"

හිරිමල් වයස ගෙවමින් හුන් වරලස නිතඹ මට්ටමටම දිග් ගැහුණා වූ මී පැණි පාට ගැහැණු ළමයින් දහ දොළොස් දෙනෙකු උන්ගේ මිහිරි හඬ නඟා ගයමින් ම ඇහෙන බෙර හඬට පාද තබනවා. ඒකත් ඒ දෑතෙ හි මිරිකල ගුලි කර ගෙන රඳවා ගත්ත සුදු පාටින් පිරියම් කරාපු කුඩා කුඩා කදුරු බෝල ත් වරින් වරේ ගුවනට අතහැර යළිත් අතටම ගනිමින්.

කාල මේඝාම්බරWhere stories live. Discover now