"ඒ අසරණී ගෙ හිතට නිනව්වක් මේ ගමේ එකාලා එක්ක ලැබුණු දාට ඉරත් නැඟපු පැත්තෙංම ආපහු බහීවි!"
සේතං ගෙ පුරස්නය ට එතනා ගෙ උත්තර කොහොමත් ඔහොමයි. මේ දෙන්නා මේ වටින් ගොඩින් හාරා අවුස්සන කාටත් නෑසෙන්නට කසුකුසු ගාන කතන්දරය හැබැහින් ම කොයි තරම් නං දරුණු දැයි සේතං සේම එතනා ද හොඳින් දනී නොවැ.
සේතං ඇඳි පුටුවේ දිග ඇදී බිං කරුවලට මත්තෙන් ආකාසය දිගට දිලිහෙන රාස්සිගෙ අව් රැල්ල දෙස බලා උන්නේ සිංහල උලු සෙවිලි කළ පියස්සට යටින්.
"සමදරා කෙල්ල නියඟලා අලයක් කාලා ආන්තරා වුණායිං මේ කිරි සප්පයො දෙන්නම අනාත ම වුණා!"
අහලක වූ කනප්පුවක් උඩ ඇති බුලත් හෙප්පුව මතින් ගත් විටක් ඒදමින් මයි සේතං කියන්නට ගත්තේ.
"අනේද කියන්නෙ,
ඔහෙයි මායි නොවෙන්න මේ අහිංසකයො දෙන්නා මැරිලා වළලපු තැං වල රූස්ස ගසුත් පැල වෙලා හේනං!"
එතනා ත් සේතං ට පිළිතුරු බැන්දේ උලුවහු කඳට පිට දී උන් ඉරියව්ව වෙනසක් නොකරම.
"දිවි නහ ගන්ට එක ආයෙ කල්ප කාලාන්තරයක් යනකං මනුස්ස භාවයක් නොලැබෙන පාප කරුමයක් තමා.....
ඒත්
එහෙමයි කියල සමදරා කෙල්ල ගත්ත තීරණේට අපට දොසක් තියන්නත් බැහැ නෙවැ!"සේතං තමාගෙ කටට හලා ගත්ත සරු සාර බුලත් විට ඒ හක්කෙන් මේ හක්කට මාරු කරමින් ම තාමත් කියවන්නේ මහාම මහා වේදනාවකින්. එතනාට එව්වාට කීමට දෙයක් හිතා ගන්ට වත් බැරුවා. ඒ හන්දාම ඈ සුළං කෝඩයක් වුණත් පරදින හුස්මක් පහළට දැම්මා.
"සමදරා ව ඉල්ලන හැම දේම දීගෙන අපි ඇහේ මූණෙ තියාන රැක්කත්...
අන්තිමට ඒකිගෙ ජීවිතේ සම්පූර්ණයෙන් ම ආල පාලු වුණා!
ඒකත් අපි වැඩියෙංම විස්සාසෙ කරාපු එවුං නිසා!"
අවසානයේ එතනාගේ නිහඬ සීලෙට සේතං අලගු තියන්නට ගත්තේ එහෙමයි. සේතංගෙ මේ පපු කැනැත්ත රිදෙන හීරෙන වචන වලට කන් දෙන අව් අස්සේ එතනා බලා උන්නේ ලීය ඇද දමා තිබූ කඩුල්ල දිහාව.