පන්තියේ හිටපු ගෑනු ළමයෙක්ට කැමති ගෑනු ළමයෙක් ඉස්කෝලෙට අහුවුණාට පස්සේ එයයි මායි දෙන්නම හිටියේ බයෙන්. ඒත් මට එයාව අත අරින්න ඕන වුණේ නෑ. මොන මගුලක් වුණත්, මොන හෙනේ ගැහුවත් මම එයා එක්ක ඉන්නවා කියලා මම හිත හදාගෙන හිටියා.
එදා දවස මට මතක නැති වුණත් එයා හිටියේ ඔළුව කැක්කුමක් නිසා මේසේ උඩින් ඔළුව තියාගෙන. පන්තියේ එයාගේ එහා පැත්තේ වාඩිවෙලා මම එයාගේ අතක් අල්ලගෙන මේසේ උඩින් ඔළුව තියාගෙන නිදහස් අතින් එයාගේ ඔළුව අත ගෑවා. මගේ ඉස්සරහා මගේ යාළුවෙක් වාඩිවෙලා අපි දෙන්නගේ එක වගේ ඔරලෝසු දෙක දිහයි බෑග් දෙකේ තිබුණ පූස් කීටැග් දෙක දිහයි බලලා මං දිහාට හොර බැල්මක් දැම්මා. මම උරහිස් ඇකිළුවේ ඒවා නිකන් දේවල් කියන්න. අන්තිමට පන්තිය හිස් වුණා.
එයා මගේ අත අල්ලගෙනම හිටියා. තාමත් ඇස් දෙක පියාගෙන.
"පන්තියේ කවුද ඉන්නේ?"
"ආහ්?" මම ඇහුවේ මට ඒක පැහැදිළිව ඇහුණේ නැති නිසා.
"පන්තියේ කවුද ඉන්නේ?"
"අපි දෙන්නා විතරයි."
එයා මගේ අත තද කරලා ළඟට අරන් අතෙන් හාද්දක් තියලා ඇස් දෙක පියාගෙනම හිනාවුණා. මම පුටුවෙන් නැගිටලා එයා දිහා බලලා හිනාවුණා. බෑග් එක දිහාවට හැරුණත් මම ආයෙත් නැවිලා එයාගේ කම්මුලෙන් හාද්දක් තිබ්බා. එයාට ආයේ හිනාවක් ඇඳුණා.
"මට බයයි."
මට ඒ වචන දෙක ඇහුණත් මට කියන්න දෙයක් තිබ්බේ නෑ. මම මොනවා කියන්නද?
මාත් හිටියේ බයෙන්. මට එයාව නැති වෙයි කියලා බයෙන්.. ඒ තොල්වල රසෙන් මිදෙන්න මට බය හිතුණා. එයා අල්ලන විදිහ, එයා බලන විදිහ.. මට ඒ සේරම නැති කරගන්න බය හිතුණා.
"බය වෙන්න එපා. අපි පරිස්සම් වෙමුකෝ."
එයාගේ යාළුවෙක් පන්තියට ඇවිත් බෑග් එක අරන් එළියට ගියා. අපි දෙන්නත් නැගිට්ටා.
එයා පන්තියේ මැද ඩෙස් පේළිය ගාව හිටගෙන ඇවිදින එක නතර කරලා මං දිහා බැලුවා.
මම ඉස්සරහට නැවිලා අන්තිම වතාවට එයාගේ තොල් උඩින් හාද්දක් තිබ්බා.
මට ඒක එතනින් නතර නොකර ඉස්සරහට ගෙනියන්න තිබ්බා කියලා මට දැන් හිතුණට එදා මම දැනන් හිටියේ නෑ ඒක ඒ විදිහට නතර වෙයි කියලා.
"මේක කවුරු හරි කැමරා කාචෙකට අරන් තිබ්බහම." එයා හිනාවුණා.
මාත් හිනාවුණා.
එදා දවස නතර කරලා එතන ගල් වෙලා මුළු ජීවිතේම එයා එක්ක එතන ඉන්න තිබ්බා නම් මම ඒ වෙලාවේ ඒක කරන්න තිබ්බ ඉඩ ගොඩක් වැඩියි.
මිනිස්සු එකම වැරැද්ද දෙපාරක් කරනවා.
ආදරේ කරපු තරම පාලනය කරගන්න බැරි තරම් හැඟීම් ගොඩක් වගේ දැනෙනවා නම් ඒ වැරැද්දම තුන් පාරක් කරනවා.
මම එයාවත් නැති කරගෙන මට මාව ඕනම වෙලාවේ මාවත් නැති කරගත්තා.
රිදුණ තුවාල හොඳවෙන්න ගනිද්දි එක දෙයක් කරන්න මම පරක්කු වැඩි වෙලා තිබ්බා.
120924
YOU ARE READING
බයිසෙක්සුවල් කෙල්ලෙකුගේ දිනපොතක පිටු
Nezařaditelnéසමහර දේවල් හිතෙනවා, සමහර දේවල් වෙනවා.. ඔය සේරම දරාගන්න බැරි වුණහම ඒවා අකුරු වෙන්න ගන්නවා. දැන් වෙලා තියෙන්නේ ඒක. මටම දරාගන්න බැරි හැඟීම් ගොඩක් මට දැනෙන එක!