මේපල් - 2

40 7 6
                                    

"නැගිටපිය නාකි ප්‍රොපෙසරයෝ.."

"ම්හු..ම්.."

"නැගිටිනවා.. නැගිටිනවා.. නැගිටිනවා.."

තඩ්..තඩ්..තඩ්..

ආවුෂ්..

කොට්ටෙකින් මගෙ පස්සට පාරක් දෙකක් වැදුණා. පට්ට සීතලයි. මම ආයෙත් බ්ලැන්කට් එක ඔළුවෙ ඉදන් පොරවගෙන කොට්ටෙ තුරුල් කරගත්තා.

"සයාන්..නැගිටිනවා.."

"නිදාගන්න දීලා පලකො මිනිහො. වද දෙන්නෙ."

එක සැරේ සද්දයක් නැති උණා. ඇයි කියලා හේතු හොයන්න බැරි තරමට නිදිමතේ හිටපු නිසා මම ඒක එච්චර ගාණකට ගත්තෙ නෑ. ඒක සෑහෙන්න වැරැද්දක්. කට පුරවලා ලොම් වගේ දෙයක් දැනෙන්නත්, තෙත කටු කටු දිවකින් කන ලෙවකනවා දැනෙන්නත් ගියේ විනාඩියකටත් අඩු කාලයක්.

"ආආආආආ..."

"මියැව්"

තැඹිලි, සුදු, ක්‍රීම්, මිශ්‍ර උණ ලොම් ගුලියක් කොළ පාට ඇස් බෝල කරගෙන මන් දිහා බලන් ඉන්නවා.

මිස් ම'කැවිටි..මගෙ ආදරේ..

ඊට උඩින් පූසගෙ නාමික අයිතිකාරයා බලාගෙන ඉන්නවා.

ජේඩන්..මගෙ හිසරදේ..

"මොකද ඕයි මෙච්චර උදේ පාන්දර? වෙලාව කීයද?"

"අටයි. නැගිටිනවකො. කීයටද වැඩ පටන් ගන්නෙ?"

මම කෙදිරි ගාගෙන, එහෙට මෙහෙට ඇඹරිලා නැගිටිනකන් ජේඩන් ජනේලෙ ලගට ගිහින් ඒක සම්පූර්ණයෙන්ම ඇරලා දැම්මා. තාම ඉර පායපු ගමන් වගේ. මෙහෙට වින්ටර් සීසන් එක ළං වෙන්න ළං වෙන්න ඉර පායන වෙලාව පරක්කු වෙනවනෙ.

මිස් ම'කැවිටි මගේ ඇද කෙළවර ලෝෆ් එකක් වගේ ගුලි ගැහිලා පූසන්ට උරුම කුතුහලෙන් හැම තැනම ඇස් ගෙනියනවා. මිස් ම'කැවිටි, මිස්ටර් ම'කැවිටිගෙ දුව. මිසිස් ම'කැවිටි තනි සුදු පාටයි. හම්බුණ එකම ළමයව දාලා මිසිස් ම'කැවිටි පැනලා යනකොට මිස් මැකැවිටිට වයස මාසයක් විතර. මිස්ටර් ම'කැවිටි ජේඩන්ගෙ අම්මා, මිසිස් හරිස්චන්ද්‍රගෙ පූසා. කාර් එකකට යටවෙලා මැරුණා. ජේඩන්ගෙ අම්මා ගැන නෙමෙයි කිව්වෙ, මිස්ටර් ම'කැවිටි ගැන. කොහොමින් කොහොම හරි ඉතුරු වුනේ මිස් ම'කැවිටි විතරයි. මම කෑම දීලා, හුරතල් කරලා යාළු කරගෙනම දැන් එයා ජේඩන්ට වඩා මගෙ පූසා.

මේපල් (short story)Tempat cerita menjadi hidup. Temukan sekarang