02. 🍂
මගේ සිතැඟි බෙදා හදාගන්නට හෝ මට ඔවදනක් දෙන්නට හෝ කිසිවෙකුත් නොවූයෙන් මම තවත් අසරණ වූයෙමි. සිත පුරා විදිය හැකි සැනසුමක් මට ලැබුණේ ම නැත.
මා මිතුරන් ආශ්රය නොකළා නොවෙයි. නමුත් මගේ අභ්යන්තරය වටහා ගත හැකි ආකාරයෙහි කිසිවෙකුත් මගේ මිතුරන් අතර නොවීය. මා මෙන්ම ධනවතුන්ගේ දරුවන් වූ ඔවුන්ගේ මිත්රත්වයන් ගොඩනැඟී තිබුණේ තම මිතුරාගේ අධ්යාත්මික ගුණාංග මත නොව ඔහුගේ දෙමාපියන්ගේ ධනවත් බව මත ය. මෙය මා නොරිස්සූ බැවින් පාසලෙහි දී පවා හුදෙකලා වන්නට මට සිදු විය. මෙබැවින් නිතරම මම, මගේ පාඩුවෙහි පොතපතක වැඩ කටයුත්තක් කරන්නට ද ඉඩ ලද සෑම විටෙක දී ම පුස්තකාලය ඇතුළත රැඳෙන්නට ද වූයෙමි.
එබැවින් කල් යත්ම 'පොත්ගුල්ලා, කාවා ' යන නාමයන් මට පට බැඳුණි. කෙසේ නමුදු නිරන්තරයෙන්ම මා පෙළූ හැඟුම් වටහා ගැනීමට සමත් කිසිවෙකුත් නොසිටියේ ය.
සෝමලතා නැන්දායි මා හඳුන්වන අප නිවසෙහි හුන් වයස්ගතම සේවිකාව මගේ කිරි මව ය. මගේ පමණක් නොව මගේ මවගේ ද කිරි මව වී තිබුණේ ඇය යි. මා උපදින්නට හුන් කල දී අම්මාගේ උදව් පිණිස මෙහි පැමිණි ඇය අනතුරුව අප නිවසෙහි ම රැඳුණා ය. ඇයට අප නිවසෙහි හිමි වී තිබුණේ වැදගත් ස්ථානයකි. ඇය අපගේ නිවාස පාලිකාව යැයි කීව ද වරදක් නැත. මා වැඩි පමණ කතාබහ කළේ ද සමීප බවක් ඉසිලුවේ ද ඇයට ය.
විටෙන් විට ම'සිතෙහි ඇතිවූ දුක්බර හැඟීම් පිළිබඳව මම ඇය සමග පැවසුවෙමි. නමුත් ඒ කිසිවකුදු වටහා ගන්නට සමත්කමක් ඇයට නොවූයෙන් එවන් අවස්ථාවල දී මෙසේ කීවා ය.
" අනේ සුදු මහත්තයා.. සුදු මහත්තයාට මොන දුකක් ද.. අපි නෙව දුක් විඳින්නේ..."
එබැවින් කලක් ගත වූ තැන මම තවදුරටත් ඇය සමග මගේ දොම්නස් හැඟුම් බෙදා හදා ගැනීමෙන් වැලකුනෙමි.මට හිමි වූ මෙම අප්රසන්න අරුත්සුන් දිවියට හේතු පාදක වූයේ මගේ පවුල් පසුබිමයි. එනම් මා මෙලොවට බිහිකළ ගැහැනියගේ සහ පිරිමියාගේ ක්රියා කලාපයන් අනුසාරයෙන් මා වටා ගොඩනගනා ලද වටපිටාව යි. මවුපියන් සිටිය දී පවා අනාථයකු මෙන් අසරණ වීමට මට සිදු විය.