01.🍂
එදින මුළු සවස් කාලය ම මා ගත කළේ මහ සයුර දෙසට නෙත මෙන්ම සිත ද යොමාගෙන ය. සයුර මධ්යයෙහි සිට රළ නගා විත් ගල්පරවල මහහඬින් හැපී දිය බිඳු විසිරවන ජල දහරාවෝ මා සිතට තරමක සැනසුමක් ගෙන ආවෝය. ලොව කොයි දෙසක වුවද දක්නට ලැබෙනා සමුදුරු දර්ශනයන් මනහර යැයි මට සිතෙයි.
සයුරු තෙරට නෙත් යොමා හිඳිමින් කල්පනාව මෙහෙයවීමට හේතු වූ කාරණාවක් ද වෙයි. එනම් මා නැවත වාරයක් හුදෙකලා වී ඇතැයි මට හැඟෙයි. හුදෙකලාව නම් වූ සතුරා මා සිත් ද්වාරයෙන් ඇතුළු වී මගේ ජීවිතය ආක්රමණය කළේ කුඩා වියෙහි දී මය. නමුදු මා දිවියෙහි ගත වී ගිය මද කලක් පුරාවට හුදෙකලාව මා කෙරෙන් මෑත් වී සිටියේ ය. එහෙත් මේ වන විට මම නැවතත් මගේ සතුරාගේ ග්රහණයට හසු වී සිටින්නෙමි. එය මැඩලීමට මා සටන් කළ යුතු යැයි මට සිතෙයි.
රාත්රියෙහි දී නිවෙසට පැමිණි මම කාමරයට වැදී පෑනක් සහ කඩදාසි කිහිපයක් ද රැගෙන ලියන මේසය අසල පුටුවට බර වූයෙමි.
ඉක්බිති මම ලියන්නට වුණෙමි. එය කතාවක් විය. එනමුදු එය මා විසින් පබැඳූ කතාවක් නොව මෙයින් වසර කිහිපයකට පෙර ගෙවී ගියා වූ මගේ දිවියෙහි සැබෑ තතු යුතු වුණු අතීත කතාව ය.
මම,
අශාන් වින්දන සූරියබණ්ඩාර🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
රාත්රී තැපැල් දුම්රිය රේල් පීලි මතින් ඉදිරියට ඇදෙමින් විටින් විට තම වේගය අඩු වැඩි කරන්නට වූවා ය. ඒ වන විට ගමනාරම්භයෙහි සිට බොහෝ දුරක් ගෙවා විත් තිබූ නමුදු දුම්රිය එකම තැනෙක දිගින් දිගට ම ගමන් කරන්නේ යැයි මට සිතෙන්නට ඇත්තේ මා තුළ වූ නොඉවසිලිමත් බව නිසාවෙන් ම නොවෙයි.
කඳුකර මාර්ගය බාධා සහිත වූයෙන් කොහොමත් මෙම දුම්රිය ගමන් කරන්නේ මේ ආකාරයට බව අපි දැන සිටියෙමු. ඒ වන විට සුවපහසු අසුන් දෙකකට ගුලි වී උණුසුම් කබා හැඳ ඊට උඩින් පොරෝනාවන් ද දවටාගෙන සිටියාත් ඒ එකකිනුදු මැඩිය නොහැකි සීතලක් දැනෙන්නේ යැයි අපි කතා වීමු. සිරුරු උණුසුම් කරනු වස් කෝපි පානය ද කොතෙකුත් බොන්නට බැරි බැවින් නිදන්නට උත්සාහ කිරීම හැර වෙනත් විකල්පයක් ද නොවීය. කෙසේ නමුදු ම' සිත පුන පුනා විමසන්නට වූයේ කිනම් වේලාවක දී කඳුකර භූමියට පා තැබීමට අපට හැකිවේ දෝ යි යන්න ය.